April 29, 2025

ආනයනික වාහන අලෙවියේ අඩුවක් පවතින බවට පළවන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එමෙන්ම ඔවුන් පෙන්වාදෙන්නේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු ආනයනය කරන ලද වාහනවලින් සියයට 75 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් අලෙවි වී ඇති බවයි.

මෙරටට ආනයනය කෙරෙන වාහනවල කිසිදු අඩුවක් නොමැති බව ද ජනමාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

හම්බන්තොට සහ කොළඹ වරාය සඳහා නව වාහන 7,000කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ආනයනය කර ඇති බවද ඔහු පැවසීය.

ආනයනය නැවත ආරම්භ කිරීමට වසර පහක කාලයක් ජනතාව බලා සිටි බැවින් නව වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වාහන බදුවල සුළු වැඩිවීමක් සිදුවී ඇති බවත්, ජපාන යෙන් අනුපාතය ඉහළ යෑමත් සමඟ වාහන මිල ඉහළ යාමට හේතු වූ බවත් ඒවා සාමාන්‍ය තත්වයන් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

එබැවින් අවශ්‍ය මාදිලියේ වාහනයක් මිලදීගැනීමට ළඟම ඇති වාහන ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙන ලෙස, ප්‍රසාද් මානගේ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පවතින පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ටොයෝටා මාදිලි, ජපන් ඇල්ටෝ සහ වැගන් ආර් වැනි කුඩා වාහන මෙන්ම යුරෝපීය වාහන සඳහා ද ඉහළ ඉල්ලුමක් පවතින බව ද ඔහු පෙන්වාදෙයි.

ඉදිරියේදී වාහන මිල ගණන් කෙසේවේ ද යන්න සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් කළ විමසීමේදී සංගමයේ ඔහු පවසා ඇත්තේ, ගෝලීය වෙළෙඳපොළේ විදේශ විනිමය අනුපාතිකයේ උච්චාවචනයන් හේතුවෙන් වාහන මිල පහළ යනු ඇතැයි අනාවැකි කීම අපහසු බවයි.