April 12, 2025

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.

සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින්, ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ඒ බව සඳහන් කළේය.

එම කණ්ඩායම ඉකුත් 3 වැනිදා සිට මෙරට සංචාරයක නිරතවිය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා සංචාරය සිදුවිය.

මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ තවමත් යථාතත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවක් ඇති කරමින් පවතින බව සිය දූත මෙහෙය අවසන් කරමින් නියෝජිත කණ්ඩායම ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලය අවශ්‍ය බව ද, එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසන්නේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම විසින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවී ඇති බවයි.

ශ්‍රී ලංකාව මුහුණදුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු 2024 දී 5%ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත්වීම වඩා වැදගත් සිදුවීමක් බව, ඔවුන් එහිදී පෙන්වා දී තිබේ.

මෑත කාලීනව උද්ධමනය -2.6% ක් දක්වා පහත වැටීම, ශ්‍රී ලංකා මහබැංකුව සැළකිව යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමග 2025 මාර්තු අග වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබීම, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව ඇත.

ඔවුන් පවසන්නේ, සැළකිව යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.