November 27, 2024

ශ්‍රී ලංකාවට සහාය දීමේ ස්ථීර හවුල්කරුවෙකු ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිටින බවත් රටේ ජනතාව සහ රටේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ අරමුණු සාක්ෂාත් කරගැනීමට සහාය වීමට සූදානම් බවත් එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා යළිත් තහවුරු කර තිබේ.

මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයන් වෙත ප්‍රකාශයක් සිදුකරමින් ජෝර්ජියේවා පැවසුවේ, ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටත් ආර්ථිකය තිරසාර හා ඉහළ වර්ධන මාවතකට යොමුකිරීමටත් සිය අධිෂ්ඨානය යළිත් තහවුරු කර ඇති බවයි.

ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් සහ අනෙකුත් නිල ණය හිමියන්ගෙන් අඛණ්ඩ සහයෝගය සමඟ ණය තිරසාරත්වයට අනුරූප වන ණය හුවමාරුවකට බැඳුම්කර හිමියන්ගේ සහභාගීත්වය හිමිවීම මෙම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නවල සාර්ථකත්වය තහවුරු කිරීමට අවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.

“ණය තිරසාරභාවය සහ බාහිර ශක්‍යතාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා, පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික පාලනය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකා බලධාරීන් අභිලාෂකාමී ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට 2023 මාර්තු 20 වැනි දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද SDR බිලියන 2.286 (ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ) මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළක් මඟින් සහාය වේ. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම සහ සංචිත එකතු වීම සමඟ වැඩසටහන හොඳ ආරම්භයක් ලබා ඇත.

සමාලෝචන දෙකක් සම්පූර්ණ කිරීමෙන් පසුව, විධිවිධානය යටතේ තුන්වන සමාලෝචනය සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට නොවැම්බර් 23 දින එළැඹිණි. 2024 ජූනි මාසයේදී, ශ්‍රී ලංකාව නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමකට එකඟ වූ අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් එම ණයහිමියන් විසින් ණය සහනයක් ලබාදෙන බවට චීනයේ EXIM බැංකුව සමඟ අවසන් එකඟතාවකට එළඹියේය.” යනුවෙන් අන්තර්ජාතික අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%