July 4, 2023

ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් මාස හයත් අවුරුදු තුනත් අතර දරුවන්ට බිත්තර හෝ වෙනත් ධාන්‍ය වර්ගයක් විකල්ප ආහාරයක් ලෙස ලබාදෙන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මේ වනවිට මාස හයේ සිට අවුරුදු තුන දක්වා වයස දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම වසරක පමණ කාලයක් සිට ඇණහිට ඇති බවය.

මෙය දරුවන්ගේ වර්ධනයට බාධාවක් වන නිසා ත්‍රිපෝෂ ලබාදෙන තුරු එම දරුවන්ට විකල්ප ආහාරයක් ලෙස බිත්තර, ධාන්‍ය වර්ගයක්, වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීම වැදගත් බව සභාපතිනිය අවධාරණය කළාය.

ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිම සඳහා සුදුසු බඩඉරිඟු සොයා ගැනීමට නොහැකි වීම මත මෙසේ කුඩා ළදරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ සෑදිමට නොහැකි වී ඇති බව ත්‍රිපෝෂ සමාගම සඳහන් කරයි.

මෙරට පවතින බඩඉරිගු තොග ළමුන්ට ත්‍රිපෝෂ සෑදිම සඳහා ලබාගැනීමට තරම් සුදුසු ප්‍රමිතියන් නොවන බවද එම සමාගම සඳහන් කරයි.

(අරුණ පුවත්පත)