February 20, 2024

අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

අද (පෙබ. 20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍ය බෙල්ලන පැහැදිලි කළේ කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි තමා දැනට සිටින තනතුරෙන් මාරු කළහොත් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ සෞඛ්‍ය අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් ‘හඬේ බලය’ මත පදනම්ව තීරණාත්මක තීරණ ගන්නා පහසු පරිපාලන ප්‍රතිපත්තියකට අනුගත වී ඇති බවට වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් චෝදනා කළේය.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කරනතුරු තම විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට කොළඹ ජාතික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පෙබරවාරි 17 වැනිදා අනතුරු ඇඟවීය.

දීමනා විෂමතා මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් පසුගියදා දියත් කළ වැඩවර්ජනයට කනිෂ්ඨ සේවක සේවිකාවන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන කළ විවේචනවලට එරෙහිව ඔවුන් මෙම පියවර ගෙන ඇත.

පසුගිය සිකුරාදා (පෙබ. 16) රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් වෛද්‍ය බෙල්ලන ඔහුගේ කාර්යාලය තුළ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට ද කටයුතු කර තිබිණි.

පසුව කාර්ය මණ්ඩල සාමාජිකයන් විරෝධතාවක් ආරම්භ කිරීමත් සමඟ රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

ඒ අනුව, රෝහල් පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් ද යොදවා තිබිණි.

42.31%
17.27%
32.76%