February 24, 2024

ශ්‍රී ලංකා විස්සයි20 නායක වනිඳු හසරංග හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදී ඇත.

ශ්‍රී ලංකා විස්සයි20 නායක සහ ICC පිරිමි ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ සිටින T20I පන්දු යවන්නා වන වනිඳු හසරංගට ICC නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් තරඟ දෙකක තහනමක් පනවා තිබේ. එසේම තරග ගාස්තුවෙන් 50%ක දඩයක්ද ඔහුට නියමකර තිබේ.

අන්තර්ජාතික තරඟයකදී ක්‍රීඩකයකු, ක්‍රීඩක සහායකයකු, විනිසුරුවරයකු හෝ තරඟ තීරකයකු පෞද්ගලිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායකයන් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය කඩකිරීම සම්බන්ධයෙන් හසරංග වැරදිකරු විය.

මෙම දඬුවමේ ප්‍රතිඵලයක් ලෙස හසරංගට ලබන මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු විස්සයි20 තරග දෙකට සහභාගි වීම අත්හිටුවනු ඇත.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දඹුල්ලේදී පැවැති තෙවැනි විස්සයි20 තරගදී නිපන්දුවක් සටහන් නොකිරීම සම්බන්ධයෙන් හසරංග විසින් විනිසුරු ලින්ඩන් හැනිබල් හට විරෝධය පළකිරීම මෙම දඬුවම නියම කිරීමට හේතුවී තිබේ.