January 9, 2024

කිසියම් වරදකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැරදිකරුවන් වුවහොත් උපරිම වශයෙන් මාස තුනක කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ තහනම් කළ හැකි බව නීතිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැරදි පිළිබඳව දඩුවම් ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මෙම නිගමනයට පැමිණි බව කථානායක අබේවර්ධන නිවේදනය කළේය.

“1953 අංක 21 දරන පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 66 සහ 67 වගන්ති, අපරාධ නඩු විධානයේ 16 (1) වගන්ති සහ ස්ථාවර නියෝග 77(1), 77(2) සහ 77 යන වගන්ති සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා මෙම නිගමනයට එළැඹ ඇත. නීතිපතිවරයාගේ නිගමනයට අනුව ඕනෑම මන්ත්‍රීවරයකු යම් චෝදනාවකට වරදකරු වුවහොත් මාස එක සිට තුන දක්වා කාලසීමාවකට වැඩ තහනම් කළ හැකි බව කථානායකවරයා නිවේදනය කළේය.

ඊට පිළිතුරු දුන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියාසිටියේ කතානායකවරයාට උපදෙස් දීමට නීතිපතිවරයාට අයිතියක් නොමැති බවයි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන අයගේ හැසිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ කථානායකවරයා විසින් පිළිනොගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එම ප්‍රශ්නයම මතුකළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ කථානායකවරයා කියාසිටියේ තමාගේ තීරණ ගැනීමේ අයිතිය තමන්ට ඇති බවයි.

“කරුණාකර කථානායකවරයාගේ අයිතිවාසිකම්වලට ගරු කරන්න,” ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%