September 5, 2024

2024 ජනාධිපතිවරණයේදී තමන් විවිධ අපේක්ෂකයන්ට සහාය දුන් බව කියන මාධ්‍ය උපකල්පන පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කණස්සල්ල පළ කළාය.

හිටපු ජනාධිපතිනිය සිය ස්ථාවරය පැහැදිලි කරමින් අවධාරණය කළේ විවිධ අපේක්ෂකයන් සිය අනුමැතිය ඉල්ලා නොයෙකුත් ඉල්ලීම් කළද තමන් මධ්‍යස්ථව සිටීමට තීරණය කළ බවයි.

2024 ජනාධිපතිවරණයේදී තමන් කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා නොදුන් බවත් නොදෙන බව ඇය යළිත් අවධාරණය කළාය.

රටේ අනාගතය අද තරම් අවිනිශ්චිතභාවකට සහ අභියෝගවලට කිසිදා මුහුණ දී නැති බව පැවසූ කුමාරතුංග, ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කිරීමේදී සියලුම ඡන්දදායකයන් බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු බව ද සඳහන් කළාය.

ඇය යෝජනා කළේ අප සැළකිල්ලට ගත යුත්තේ පුද්ගලයා නොව, එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන ක්‍රියාකාරී වැඩසටහන්, වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් භාවිත කරන ආකාරය, ක්‍රියාපටිපාටි සහ පද්ධති මෙන්ම ක්‍රියාත්මක කිරීම භාරව සිටින පුද්ගලයන් බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්ම, කුඩා / මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසාය, ප්‍රධාන කර්මාන්ත, මෙන්ම වැවිලි අංශය, අන්තර්ජාතික වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය සහ අපනයන විවිධාංගීකරණය යන ක්ෂේත්‍රවල ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය දිය යුතු බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

ඇය ප්‍රකාශ කළේ යහපාලනය සහ දූෂණය පිටුදැකීම, පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ආදිය සම්බන්ධයෙන් අපට කැමති අපේක්ෂකයාගෙන් සහතිකයක් ඉල්ලා සිටීමට ඡන්දදායකයන් වන අපට අහිමි කළ නොහැකි අයිතියක් ඇති බවයි.

ඇය පැවසුවේ රජය තුළ අවංකභාවය සහ වගවීම සම්බන්ධයෙන් රැඩිකල් ක්‍රම වෙනසක් ඉල්ලා මීට වසර 2 කට පෙර 2022 දී පුපුරා ගිය සමස්ත රටම වෙළාගත් දැවැන්ත ජනතා ව්‍යාපාරය අමතක නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.

රජයක් පිහිටුවීම සඳහා පුරවැසියන් වසර 5කට වරක් ඡන්දය ප්‍රකාශ කරන නමුත් ඊළඟ වසර 5 තුළ රජය කළමනාකරණය කරන ආකාරය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් හෝ සහභාගීත්වයක් නොමැති වත්මන් ක්‍රමය තුළින් මෙය සාක්ෂාත් කරගත නොහැකි බව තමා විශ්වාස කරන බව ද කුමාරතුංග පැවසුවාය.

තීරණ ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීම රජය තුළ වැරදි ක්‍රියාවන් අවම කර ගැනීමට සහ පද්ධති වෙනසක් පිළිබඳ අපගේ සිහිනය සාක්ෂාත් කරගත හැකි එකම විසඳුම රජය තුළ පුරවැසි සහභාගීත්වය ඇතුළත් රාජ්‍ය ව්‍යුහයක් බව ඇය අවධාරණය කළාය.

යෝජිත රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සමාලෝචනය කර එම අදහස් සැළකිල්ලට ගන්නා ඇමැති මණ්ඩලයට අදහස් දැක්වීම සඳහා රජයට සමගාමීව ක්‍රියා කරන මහජන සභාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නිර්මාණය කළ යුතු බවට ඇය යෝජනා කළාය.

මෙම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර පාර්ලිමේන්තුවට මෙන්ම දිස්ත්‍රික් මහජන කමිටු වෙත වාර්තා කිරීමට ද සභාවට බලය තිබිය යුතු බව ඇය පැවසුවාය.

මහජන සභාවේ සමස්ත සාමාජිකත්වයෙන් 40%ක් තරුණයන් වියයුතු අතර 40%ක් කාන්තාවන් වියයුතු බව ඇගේ අදහසයි.

ඒ අනුව මහජනතාවගේ නියෝජිතයන් හරහා ආණ්ඩුවට ඍජු දායකත්වයක් ලැබෙන බවද ඇය පැවසුවාය.

එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී ක්‍රමයක් වනු ඇතැයි යන්න ඇගේ අදහස වී තිබේ.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව තහවුරු කරමින් දූෂණය හා නාස්තිය පිටුදැකීමට එය ඵලදායී විසඳුමක් වනු ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසුවාය.