May 17, 2024

පෝටර්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිසියට කැදවූ රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර කියාසිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තමන් නොකළ යුතු දෙයක් කළ බවයි.

ඔහු මේ බව කියාසිටියේ අද පෙරවරුවේ පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පහරකෑමට ලක්වූ පෝටර්වරයා සිද්ධියෙන් පසු සේවයට වාර්තා කර නොමැති බවටත් ඔහු සිටින තැනක් නොදන්නා බවටත් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය ඇමැතිවරයා, ඔහුට සේවයට පැමිණීමට කිසිදු බාධවක් නොමැති බව සඳහන් කළේය.

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මෙලෙස ගුවන්තොටුපල පොලිසියට ප්‍රකාශයක් ලබාදුන්නේය.

ප්‍රසන්න රණවීර සිය සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් සමඟ ප්‍රධාන දොරටුවෙන් ගුවන් තොටුපළට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී ඔහුට දන්වා ඇත්තේ ආරක්ෂක අංශයට ගිනි අවි ගුවන් තොටුපළ තුළට ගෙන ඒමට නොහැකි බවයි.

අනතුරුව ඔහු ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකුට තර්ජනය කර ඇති අතර ඔහුගේ බිරිඳගේ ගමන් මලු රැගෙන යෑමට සහාය වෙමින් සිටි පෝටර්වරයෙකුට ද පහර දී තිබේ.