September 5, 2024

අනියම් පෙම්වතා සමග පැනගිය තම බිරිඳ ආපසු කැඳවාදෙන ලෙස ඉල්ලමින් වවුනියාව බණ්ඩාරිකුලම ප්‍රදේශයේ දෙදෙරු පියෙක් වවුනියාව පොලිසිය ඉදිරිපිට පිහිටි රූස්ස ගසකට නැග 3 දා විරෝධතාවයක නිරතවී තිබේ.

ගසට නගින ලද පුද්ගලයා පවසා ඇත්තේ, ඔහුගේ බිරිඳ ගෙනැවිත් නොදෙන්නේ නම් එම ගසෙන් බිමට පැන සියදිවි හානි කරගන්නා බවය.

ජංගම දුරකථනයක් ද රැගෙන ගස මුදුනට ගොස් සිටි ඔහු අනෙක් සියලුදෙනා සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ එම දුරකථනය ඔස්සේය.

සිද්ධිය සැලවීමත් සමගම ගසට නගින ලද පුද්ගලයාගේ ඥාතීන් දරුවන් දෙදෙනා ද සමග ගස යටට පැමිණ ඔහුට බැගෑපත් වෙමින් ප්‍රකාශ කර ඇත්තේ, කෙසේහෝ බිරිඳ රැගෙනවිත් දෙන නිසා ගසින් බිමට නොපැන වහාම ඉන් බසින ලෙසය.

පොලිස් නිලධාරීන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ඔහු සමග අදහස් හුවමරු කරගත් නමුත් ඔහු ගසින් බැසීමට එකඟවී නැත.

පසුව ඔහු රවටා ගසින් බස්සවා ගෙන ඇති පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ප්‍රකාශයක් මත පළාගිය බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.