December 20, 2024

කොවිඩ් සමයේ සිට ගොඩ ගැසුණු පැමිණිලි 8,000ක් තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංචිහේවා පැවසුවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි හැටකට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව කොමිෂන් සභාව වෙත ලැබෙන බවයි.

ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබේ.

පැමිණිලි 600ක් පමණ වසරේ මේ දක්වා ලැබී තිබෙන බවත් පැමිණිලි විභාග කර අවසන් කර තීන්දු ලබාදීම කඩිනමින් සිදුවන බවත් කොමසාරිස්වරයා සඳහන් කරයි.

විභාග කිරීම ප්‍රමාද වූ පැමිණිලි පිළිබඳ විමර්ශන කඩිනම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සිය කොමිෂම විසින් විභාගයට ගන්නා අතර පොලිසිය ආපරාධ හෝ ඒවැනි වෙනත් අපරාධ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ රාත්‍රියේදී රාත්‍රි ඇඳුමින් සිටින කාන්තාවන් පොලිසයට ගෙන ගොස් ප්‍රශ්න කිරීම නීතිවිරෝධී බව කොමසාරිස්වරයා පැවසීය.

ස්පා ආයතනවලට කඩා වැදී කාන්තාවන් පොලිසියට රැගෙන යෑමට නීතියෙන් අවසර නැති බව සඳහන් කළ කොමසාරිස්වරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ස්පා වැටලීමේ අවසර සහ නීතිය හමුවට අදාළ පාර්ශව කැඳවීමේ අවසර ඇති බව ද සඳහන් කළේය.

පොලිසිය සන්නද්ධ කල්ලියක් නොවන බව සිහි තබා ගතයුතු බවත් වෘත්තියක් වශයෙන් ජනතාවට සේවා සපයන ආයතනයක් බව නිරන්තරයෙන්ම සිහියේ තබා ගතයුතු බවත් ඔහු කීය.

එසේම ගණිකා වෘත්තිය අපරාධයක් නොවන බවත් එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත් ගණිකා නිවසක් පවත්වාගෙන යන කළමණාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

අන්තර්ජාතික මානව හිමිකම් දිනය සමරමින් මාතලේ දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ වීර මොණරවිල කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්වූ සමරුම් උත්සවයේදී කොමසාරිස්වරයා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ඒල්.ටී.බී.දෙහිදෙණිය, මහාචාර්ය ප්‍රතිභා මහානාම, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උල්පත ජයරත්න, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභවේ මධ්‍යම පළාත් ප්‍රධානී විරංජින් ඩයස් සුමනසේකර යන නිලධාරීහු ද සහභාගිවූහ.

42.31%
17.27%
32.76%