November 13, 2023

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් (human intravenous immunoglobulin (IVIG)) කුප්පි වංචාව පිටුපස සිටින මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උනන්දුවක් නැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සංගමය (MCPA) චෝදනා කරයි.

ගාල්ලේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අවධාරණය කළේ, අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් නොවැම්බර් 15 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම බලධාරීන්ට හිතවත් දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

කෙසේවෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට පොලිස් දෙපාර්තමේන්තුව හිතාමතා බාධා නොකරන නමුත් ඇතැම් කරුණු පැහැදිලි කරගැනීම සඳහා කාලයක් ගත වන බවයි.

වෛද්‍යවරුන් සහ ඖෂධ විශේෂඥයන් වැනි අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන බවද ඔහු සඳහන් කරයි.

චෝදනා ඔප්පු කිරීමට ප්‍රබල සාක්ෂි අවශ්‍ය බැවින් නිසි හේතු නොමැතිව උපකල්පන මත අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් කළ නොහැකි බවද ඔහු කියා සිටියි.

ප්‍රමිතියෙන් තොර IVIG කුප්පි ආනයනය කළ බව කියන සමාගමේ හිමිකරු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ව්‍යාජ ලේඛන යොදා ගනිමින් බාල ඖෂධ ආනයනය කළ බවට චෝදනා එල්ල වී ඇති එම සමාගමේ හිමිකරුට සහ මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ බව කියන තවත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇත.

මතභේදයට තුඩු දුන් IVIG ඖෂධ කාණ්ඩය භාවිතය තාවකාලිකව නවතා දමා ඇත.

ජාතික වෛද්‍ය නියාමන අධිකාරිය (NMRA) සිද්ධියෙන් පසු ප්‍රකාශ කළේ තමන් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළ බවයි.

42.31%
17.27%
32.76%