57.78%
19.61%
18.3%
December 8, 2023

මාතර තරුකොටුව පරිශ්‍රයේ තිබී ලන්දේසි යටත් විජිත යුගයට අයත් බව කියන කෞතුක භාණ්ඩ කිහිපයක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, කොටුව තුළ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිට කම්කරුවන් විදුලි කණුවක් සිටුවීම සඳහා වළක් හාරමින් සිටියදී මෙම පුරාවස්තු හමුවී ඇති බවයි.

ඒ අනුව එම ස්ථානයේ තිබී මිනිස් අවශේෂ බවට සැක කෙරෙන අස්ථි කොටස් , කෞතුක භාණ්ඩ, පෝසිලේන් කැබැල්ලක්, දුම් දමන බටයක් සහ මැටි නිෂ්පාදන කොටස් හමුවී ඇත.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් පොලිසියට දැනුම් දී අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.

මාතර මහේස්ත්‍රාත්වරයා විසින් කෞතුක වස්තු මෙන්ම කෞතුක වස්තු ගොඩගත් වළද පරීක්ෂාකර කෞතුක භාණ්ඩ මාතර තරු කොටුවේ කෞතුකාගාරයේ තැන්පත් කරන ලෙස නියෝග කර ඇත.

එම ස්ථානයේ කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ද ලබාදී තිබිණි.

ගොඩගත් පුරාවස්තු ලන්දේසි යටත් විජිත යුගයට අයත් බව තහවුරු කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

57.78%
19.61%
18.3%