December 18, 2024

පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ විදේශගත ශ්‍රමිකන් සඳහා විද්‍යුත් වාහන ආනයන යෝජනා ක්‍රමය අයථා ලෙස භාවිත කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 2.66 ක දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර ඇත.

එම ක්‍රියාවලියේ විනිවිදභාවය සහ අවංකභාවය පිළිබඳව මේ වන විට විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මගින් 2022 මැයි 1 සහ 2023 සැප්තැම්බර් 15 අතර කාලය තුළ අදාළ යෝජනා ක්‍රමය යටතේ බලපත්‍ර නිකුත් කිරීම විමර්ශනය කර තිබෙණ බව හෙළිවෙයි.

එමගින් 2020 සැප්තැම්බර් 22 සහ 2023 ජූනි 30 කාලය තුළ නිකුත් කරන ලද විද්‍යුත් වාහන බලපත්‍ර ද පරීක්ෂාවට ලක්කර ඇත.

ආනයනික වාහන 510 ක් සඳහා සුඛෝපභෝගී බදු නිදහස් කිරීමේ සීමාව රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 12 ක් දක්වා ඉහළ නැංවීමට රජය ගත් තීරණය මගින් සිදුවූ මූල්‍ය බලපෑම ඇතුළුව තවත් කැපීපෙනෙන අක්‍රමිකතා එම විගණනය තුළින් ඉස්මතු කර තිබේ.

මෙම ප්‍රතිපත්ති වෙනස මගින් රජයේ ආදායමට සිදුව ඇති ඇස්තමේන්තුගත පාඩුව රුපියල් මිලියන 1,380 කි.

මීට අමතරව යෝජනා ක්‍රමයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්, වෙනත් පාර්ශ්වවලට මාරුකළ වාහන හයක් සඳහා බදු ගෙවීම් රුපියල් මිලියන 1,280 ක් පැහැර හැර ඇතැයි ද වාර්තා වේ.

විගණන කාලසීමාව තුළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංක්‍රමණික සේවකයන් සඳහා වාහන බලපත්‍ර 1,077ක් නිකුත් කර ඇත.

ඉන් බලපත්‍ර 77 ක් අක්‍රමිකතා හේතුවෙන් පසුව අවලංගු කරන ලදී.

විගණනය සඳහා තීරණාත්මක ගොනු 64ක් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා අපොහොසත් වීමෙන් වගවීම තවදුරටත් හෑල්ලුවට ලක්කර ඇති බවද ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අවලංගු කිරීමට විගණනය නිර්දේශ කර ඇති අතර එම තීරණය පිළිබඳව පාර්ශ්වකරුවන්ට දැනුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

කැබිනට් අනුමැතිය ලත් කමිටු වාර්තාවේ දක්වා ඇති ප්‍රධාන මූලධර්ම හතරක් උල්ලංඝනය කරමින් බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එමගින් ඉල්ලා තිබේ.

බලපත්‍ර අවලංගු කිරීම සහ විනය ක්‍රියාමාර්ග ඇතුළු වාර්තාවේ නිර්දේශ පාර්ලිමේන්තුවේ විවාදයට තුඩුදෙනු ඇතැයි ද අපේක්ෂිතය.

42.31%
17.27%
32.76%