August 29, 2024

පුත්තලමේ ඛනිජ වැලි කැණීමට අදාළ යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත නැගෙන දූෂණ, අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ චෝදනා විමර්ශනය යටතේ මානව හිමිකම් කොමිෂන් සභාව සිමෙන්ති සංස්ථාව වෙතින් ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා තිබේ.

චෝදනා ඉදිරිපත් කරමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ජූලි 19 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

අරුවක්කාලු ප්‍රදේශයේ ඛනිජ වැලි නිස්සාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පසුගිය වසරේ එක්තරා පෞද්ගලික සමාගමක් සමඟ වසර 30ක ගිවිසුමකට එළඹ ඇත.

පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර, තරඟකාරී ලංසු තැබීමකින් හෝ අදාළ බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමකින් තොරව එකී ගිවිසුමට එළඹී ඇති බවටයි.

රුපියල් 1,000ක නාමික කොටස් ප්‍රාග්ධනයක් ඇති එකී සමාගමේ අයිතිය තනි පුද්ගලයකු සතු බවත්, එයට ඛනිජ වැලි කර්මාන්තය පිළිබඳ තාක්ෂණික සුදුසුකම් හෝ පළපුරුද්ද නොමැති බවත් අනාවරණ වී ඇතැයි පැවසේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැතිකම හේතුවෙන් එක් පාර්ශ්වයකට විශේෂ කොට සැළකීම සහ දූෂණ අවදානම් පිළිබඳ සැක මතුවන බවත්, එමගින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අතර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසන්නේ විශ්වාසදායක ලෙස දැන ගැනීමට ලැබී ඇති පරිදි, පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් නම් වෙනත් සමාගමක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ දශකයකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ ක්‍රමානුකූල ගවේෂණ සිදු කර ඇති බවයි.

1992 පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුකූලව, පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් සමාගම මෙම ප්‍රදේශයෙන් ලබා ගන්නා ඛනිජ වැලි වාණිජ අරමුණු සඳහා යොදා ගැනීමට තනි හිමිකම ලබා ගැනීමේ නීත්‍යනුකූල අපේක්ෂාවෙන් පසු වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට දන්වා ඇත.

එම ආයතනය පවසන පරිදි ඉඩම් අයිතිය සහ ඛනිජ ද්‍රව්‍ය හිමිකම අතර පැහැදිලි වෙනසක් ඇත.

ඛනිජ සම්බන්ධයෙන් නියාමන අධිකාරිය ලෙස කටයුතු කරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යභාරය සිමෙන්ති සංස්ථාව විසින් මෙහිදී හෑල්ලූවට ලක්කර ඇති බව පෙනෙන බව එම ආයතනය පවසයි.

ඊට අමතරව, මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘති භූමිය, 1993 දී ‘සියම් සිටි සිමෙන්ට්’ ලංකා (පුද්ගලික) සමාගමට වසර 50 කට බදු දී ඇති බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියයි.

“ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ ඛනිජ සැකසුම් අංශයට මෙතෙක් සිදු කරන විශාලතම සෘජු විදේශ ආයෝජනය සැලසුම් කරමින් සිටි බව පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් සමාගම කියා සිටියි. පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් සමාගමේ අගය එකතු කළ සැකසුම් එම ව්‍යාපෘතියේ ආයෝජකයකු වන Fortune 500 කාණ්ඩයේ සමාගමකට අලෙවි කිරීම හරහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආදායමක් බලාපොරොත්තු වේ. මීට අමතරව, මෙම ආයෝජනය මගින් ආරක්‍ෂාව සහ තිරසාරභාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින යහපත් භාවිතයන් අනුගමනය කරමින්, රට තුළ ඇති අඩු තත්ත්වයේ ඛනිජ ද්‍රව්‍ය සැකසීමට හැකිවන පරිදි නව කාර්මික තාක්‍ෂණයන් හඳුන්වා දීමට හැකි වනු ඇතැයි පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් සමාගම කියා සිටියි. පුත්තලම ඉල්මනයිට් ලිමිටඩ් සමාගම පුරෝකථනය කරන්නේ මේ තුළින් 400 අධික රැකියා අවස්ථාවන් නිර්මාණය වනු ඇති බවත්, එළුවන්කුලම සහ පුත්තලම ප්‍රදේශයන්හි වෙසෙන පුද්ගලයන්ගේ තාක්ෂණික කුසලතා මේ තුළින් වර්ධනය වනු ඇති බවත්ය.

එබැවින්, සිමෙන්ති සංස්ථාව සහ මුලින් සඳහන් කළ පෞද්ගලික සමාගම අතර ඇතිකරගත් ගිවිසුම හේතුවෙන්, පසුගිය වසර කිහිපය තුළ, රටට අත්‍යවශ්‍ය විදේශ මුදල් ඩොලර් මිලියන 300ක් පමණ අහිමි වී ඇතැයි ගණන් බලා තිබේ. ඒ, කර්තෘභාග සහ බදුවලින් ලැබෙන ආදායමට අමතරවයි. අපනයන විවිධාංගීකරණය වීමේ අවස්ථාව ද මේ නිසා අහිමි වේ. තවද, ආයෝජන මණ්ඩලය සහභූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැනි ව්‍යාපෘති අනුමත කරන ආයතන කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීමට මෙය හේතු විය හැක.” යනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කර තිබේ.

චෝදනා කර ඇති පරිදි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නොසළකා හැරීම සහ අදාළ ආයතන විසින් නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීම හේතුවෙන් රටේ ස්වාභාවික සම්පත්, ආර්ථිකය සහ ජනතාව කෙරෙහි තදබල සෘණාත්මක ප්‍රතිවිපාක ඇති කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරයි.

එබැවින්, මහජන යහපත සඳහා මේ සම්බන්ධයෙන් සිය බලතල භාවිත කර පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ද ඉල්ලා තිබේ.

මෙම ඛනිජ වැලි කැණීම් ව්‍යාපෘතියේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කරන ලෙසත්, එය ශ්‍රී ලාංකීය ජනතාවට වැඩිම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ක්‍රියාවට නංවන ලෙසත්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.