June 25, 2024

පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක සිප ගනිමින්, වැළඳ ගනිමින් සහ ස්පර්ශ කිරීමෙන් ලිංගික අතවර කිරීමේ වරදක් සම්බන්ධයෙන් එම ආයතනයේම මානව සම්පත් කළමණාකරුවකුට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඊට අමතරව වින්දිත කාන්තාවට රුපියල් 750,000ක වන්දියක් ගෙවන ලෙස ද විත්තිකරුට නියෝග කෙරිණි.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ එන ලිංගික අතවරවලට අදාළ වැරදි තුනකින් විත්තිකරු නිදහස් කරමින් 2015 සැප්තැම්බර් 16 වැනි දින මහාධිකරණය දුන් තීන්දුව අභියෝගයට ලක් කර අගතියට පත් පාර්ශ්වය ගොනු කළ අභියාචනයේ තීන්දුව ලබා දෙමිනි.

මහාධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු සැකයේ වාසිය මත විත්තිකරුට පක්‍ෂව තීන්දුව ලබා දීමේ පදනම මත විත්තිකරු නිදොස් කොට නිදහස් කර තිබිණි.

මෙම නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව අගතියට පත් කාන්තාව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සම්පත් අබේකෝන් සහ පී කුමාරරත්නම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විත්තිකරු චෝදනා තුනකට වරදකරු කරන ලදී.

අභියාචනාධිකරණය වැඩිදුරටත් කියා සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

අගතියට පත් වූ තැනැත්තිය පෞද්ගලික ආයතනයක මානව සම්පත් අංශයට අනුයුක්තව ලිපිකාරිණියක ලෙස සේවය කර ඇත.

විත්තිකරු ඇය සේවය කළ මානව සම්පත් අංශයේ කළමණාකරුය.

අගතියට පත් පාර්ශ්වය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ප්‍රමාද වී යැයි සළකා විත්තිකරු චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ප්‍රධාන හේතුව වී ඇති බව වින්දිත කාන්තාව සිය අභියාචනයේ දී පෙන්වා දී තිබිණි.

42.31%
17.27%
32.76%