July 25, 2023

උපතේදී අතිශය අඩු බරකින් යුක්තවූ සිය බිළිඳා වෛද්‍යවරුන්ගේ දක්ෂතාව හේතුවෙන් ජීවත් කරවීමට හැකියාව ලැබුණු ආකාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලංකා යුවලක් හෙළිකර ඇත.

ශ්‍රී ලාංකික යුවලක් වන 26 හැවිරිදි රුෂානා රෆීක් සහ 33 හැවිරිදි මොහොමඩ් මුදසීර් ඩුබායි හි ලතීෆා රෝහලේ වෛද්‍ය විශේෂඥයන්ට, ඔවුන්ගේම වචනවලින් කිවහොත් “ලොකු අඹ ගෙඩියකට වඩා සැහැල්ලු”, ග්‍රෑම් 480 ක් බරින් යුතුව සිටි, ඉතා නොමේරූ ළදරුවෙකු ලෙස උපත ලැබූ තම පළමු දරුවාගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳව ස්තූතිය පුදකර තිබේ.

සිය කුඩා බිළිඳාගේ දිවි ගලවා ගැනීමේ කතාව හෙළිකරමින්, රුෂානා ‘ගල්ෆ් නිවුස්’ වෙත පවසා ඇත්තේ, ඇගේ නොමේරූ බිළිඳා වන ගාසියා, නව ජන්ම විශේෂඥ වෛද්‍ය ජාවෙඩ් හබිබුල්ලා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් විශිෂ්ට සැළකිල්ලක් සහ ප්‍රතිකාර ලබාදෙමින් රැකගැනීමට සිදුකළ සටන අවසානයේ ජයග්‍රහණය කර ඇති බවයි.

මේ වසරේ පෙබරවාරි 23 වෙනිදා රුෂානා රෝහලට රැගෙන් ගොස් ඇත්තේ හදිසි සංකූලතාවක් ඇතිවූ බැවිනි. එහිදී ඇයගේ දරුවා බිහිවීමට සුදානම් බව වෛද්‍යවරු දැනුම්දී ඇත.

“ගර්භණීභාවය අවදානම් බව මට කිව්වා” රුෂානා සිහිපත් කළාය. ප්‍රසූත කළත් ඇගේ දරුවා ජීවත් නොවනු ඇතැයි වෛද්‍යවරු අනතුරු ඇඟවූ විට ඇගේ හදවත කම්පාවී තිබේ.

වෛද්‍යවරු පැහැදිලි කර ඇත්තේ, නරකම අවස්ථාවක, එය ගබ්සාවක් ලෙස සළකමින්, දරුවා ප්‍රසූත කිරීමට සිදුවිය හැකි බවයි.

දිනකට පසු, දරුවාගේ උපත් බර ග්‍රෑම් 500 ට අඩු විය හැකි බැවින්, දරුවා පිළිබඳ බලාපොරොත්තු තබා නොගන්නා ලෙස ඇයට දැනුම්දී තිබේ.

“මම වෛද්‍යවරුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ, කරුණාකර මට හානියක් සිදු වුවත්, දරුවා බේරාගැනීමට උත්සාහ කරන ලෙසයි” යැයි රුෂානා සිහිපත් කරයි.

වෛද්‍ය කණ්ඩායමේ අවවාදාත්මක උපදෙස් නොතකා, රුෂානා ඇගේ බලාපොරොත්තුව සහ විශ්වාසය තබාගෙන, තම දරුවා බේරාගැනීමට හැකි සෑම දෙයක්ම කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

පෙබරවාරි 25 වැනිදා ග්‍රෑම් 480ක් බරැති ගාසියා, ගැබ් ගෙන සති 23කදී උපත ලැබීමත් සමඟ රුෂානාගේ බලාපොරොත්තු අලුත් විය.

එය ස්‌වාභාවික උපතක් විය. බිළිඳිය හුස්ම ගනිමින් සිටියාය. ඇය වහාම නොමේරූ ළදරු ඒකකයට ගෙනගොස් ඉන්කියුබේටරයක තබා ශ්වසන යන්ත්‍රයකට සම්බන්ධ කර ඇත.

අවසානයේ, දින 121 ක වෙහෙසකර රෝහල් ආරක්ෂාවකින් පසු ගාසියා රෝහලෙන් පිටව ගියාය.

ඇයගේ දිවි ගලවා ගැනීම විශිෂ්ට වූ අතර ඇය “ආශ්චර්යය” සහ “සටන්කාමිනිය” ලෙස නම් කර ඇත.

දැන් ගාසියා නිරෝගී, සාමාන්‍ය ළදරුවෙක් වන අතර බර කිලෝග්‍රෑම් 2.3 කි. “ඇය කිසිම ඖෂධයක් ගන්නේ නැහැ. අපි ඇයව නිතර පරීක්ෂා කර උපදෙස් ලබාගැනීම සඳහා රෝහලට රැගෙන යනවා” රුෂානා වැඩිදුරටත් පවසා ඇත.