October 15, 2024

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 17 වැනිදා දක්වා පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ ඊයේ(14) දිනයේ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි.

මේ අතර පවතින අධික වර්ෂාව සමග ගිං සහ නිල්වලා ගංඟා ජල මට්ටම් ඉහළ යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එහි ජල විද්‍යා ඒකකයේ ඉංජිනේරු සකුරා දිල්තාරා පැවසුවේ, කළු, කැලණි සහ අත්තනගලු ඔයේ ගංවතුර අවදානම ද තවදුරටත් එලෙසම පවතින බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 16කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 40,039ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතර පුද්ගලයින් 155,729 දෙනෙකු වන බවයි.

මේ වන විට පවුල් 2,523 ක පුද්ගලයින් 10,743දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 80 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 490 ක්.

මේ අතර වැඩිම හානි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව, 82839 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 15,130ක පුද්ගලයින් 56732 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මේ අතර අධික වැසි සමග ඇති වු ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා තවත් රුපියල් මිලියන 50 ක් වෙන්කර ඇතැයි, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි

එහි ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්ය.

මේ අතර, හෙට(15) දිනයේත් කොළඹ, ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාප වල සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබේ.

පළාත් ප්‍රධාන ලේකම් ධම්මික විජේසිංහ පැවසුවේ,පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

මේ අතර, අධික වැසි සමග ඇතිවි තිබෙන ආපදා හේතුවෙන්, අම්බලන්ගොඩ කලාපයේ පාසල් කිහිපයක් සහ ගාල්ල කලාපයේ පාසලක් අද (15) දින වසා තැබීමට තිරණය කර තිබේ.

ඒ අනුව බලපිටිය ශ්‍රිපති විද්‍යාලය, බලපිටිය මාදුව කණිෂ්ඨ විද්‍යාලය,හික්කඩුව මලවැන්න විද්‍යාලය,අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය,සහ ගාල්ල කලාපයේ ගණේගොඩ රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල් අද(15) දින වසා තැබෙව බව පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර පවසයි.

42.31%
17.27%
32.76%