March 12, 2025

මාතර , වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘w15’ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළේය.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම සලකාබැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බවත්, ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

” අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) ආ වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙත්සම්කරු වෙත සිතාසි නිකුත් කිරීමක් සිදුකළ යුතුයි. අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි.” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙහිදී අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් “පෙත්සම්කරුට කෙළින්ම අධිකරණයට ගිහින් පෙනීසිට ප්‍රකාශයක් දෙන්න බැරිද?” යනුවෙන් විමසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා “ස්වාමීනී… මගේ සේවාදායකයා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම් ඔහු විමර්ශන වලට සහාය වෙන්න කැමතියි ” යනුවෙන් සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා “පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරාවි. ඉතින් ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද?” යනුවෙන් විමසුවේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා ” ස්වාමීනී… අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම්” යනුවෙන් යලි සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ, එවැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා” මාගේ සේවාදායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පතිධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකථන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත්කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහේස්ත්‍රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්‍රාහීභාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක්කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි.” යනුවෙන් සඳහන් කළේය.

මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත්, තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනී.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මගහැර සැගවිලා සිටිනවා. ඔහු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහයත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වන විට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පොලිස්පති ධුරය තබා පොලිස් කොස්තාපල් තනතුර දැරීමට වත් ඔහු සුදුසු නෑ. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන්කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර, ගංගානි මාවතේ පිහිටි නිවස පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27 වැනිදා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයින් නොමැති බව අනාවරණය වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනී…. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි.” යනුවෙන් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ” 2023 දෙසැම්බර් මස 31 වැනිදා රාත්‍රි 8.30ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් කේ.ඩී.එච්. වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරු තුන්දෙනෙක් ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටළීමක් සිදුකිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි w15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී “යුක්තිය” මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාශය නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන්වරයෙකු මරණයට පත්වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනෙකු සිටියා. මෙසේ පළාගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලුදෙනාගේ රාජකාරී ජංගම දුරකථන වසාදමා තිබුණා. පසුව පොලිස් නිලධාරින් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැකකටයුතු තත්ත්වයක්. වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් හා රෝහල් තුනක් පසුකරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහලවලට ඇතුළත් නොකළේ ඇයිදැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යානකූල මෙහෙයුමක් නම් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ස් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණේ.” යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “ස්වාමීනී.. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් විසින් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩිතැබීමට ලක් වූ w15 හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩින් සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනීගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දේශබන්දු තෙන්නකෝන්ට මාසයකට රුපියල් ලක්ෂ එක හමාරක් මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ සිදු වී ඇති බව සාක්ෂිවලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔවු තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සම්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි ‘පැරා මිලටරි’ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? දේශපන්දු තෙන්නකෝන් තමා මෙම සිද්ධියේ ප්‍රධාන කුමන්ත්‍රණකරු. අපරාධ කොට්ඨාශයේ නිලධාරින් මෙහිදී ක්‍රියාකර තිබෙන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ආකාරයටයි. මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් උපුල් කුමාරගේ පවුලේ අයට පොලිස්පතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් අරමුදලින් රුපියල් ලක්ෂ 15 ලබා දී තිබුණා. පසුව එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තවත් ලක්ෂ 25ක මුදලක් ලබාදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. මෙහිදී එවක මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකළ යුතු බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබෙනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන්කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා, එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළහ.