November 7, 2023

සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවත්, බදු සංශෝධනය පිළිබඳ දැනසිටියේ රේගු නිලධාරීන් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පැවසීය.

සීනි බදු වැඩිකිරීම ගැන දැන සිටියේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු එළියට ලබාදුන්නේද යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“සීනි වංචාව ගැන අපි එදා හඬනැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඬ නගන්න කටයුතු කරනවා. අපි වංචාවක්, වැරැද්දක් වෙන තැනක කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණය අපි හොයලා බැලිය යුතුයි. සීනි ලංකාවට ගොඩබාන්න සූදානම් කරලා තියෙද්දී හෝ ගොඩබෑවට පස්සේ බද්ද වැඩි කළාද කියන ප්‍රශ්නය තියෙනවා.

ඒත් මෙතන තියෙන සෑබෑම ප්‍රශ්නය වෙන්නේ සීනි බදු වැඩිකරනවා කියන ආරංචිය ව්‍යාපාරිකයින්ට යන්නේ කොහොමද කියන කාරණයයි. මේ බද්ද වෙනස් වෙනවා කියන කාරණය කැබිනට් එක්ටවත් ඇවිල්ලා තිබුණේ නැහැ. මේක දන්නේ රේගුවේ අයයි. එතකොටම මේක කොහෙන්ද එළියට ගිහින් තියෙන්නේ ? අපි අයවැවෙන් පඩි වැඩිකරන්න සූදානම් වෙනකෙට ඒ තොරතුරු එළියට යනවා. ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා පඩි වැඩිකරන්න කියලා. ඒ වගේම බද්ද පනවන්න යනවා කියන කොටම ටක්ගාලා බඩු ටික ගේනවා. බද්දක් අඩුකරන්න සූදානම් වෙනකොට බඩු ටික හංගගන්නවා. එතකොට මේ සේරම තොරතුරු යන්නේ කොහෙන්ද ? මේවා කැබිනට් මණ්ඩලයෙන් නෙමෙයි එළියට යන්නේ.

මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. එහිදී මේ සීනි බදු වැඩිකිරීම ගැන කවුරු හරි දැනන් හටියාද? මේ තොරතුරු එළියට කිව්වාද ? කියන කාරණා ගැන අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. කණ්ඩායමක් මේ බදුවල සිදුවෙන වෙනස්කම් වලින් ආදායම් හොයන්න කටයුතු කරනවා. ඒ නිසාමයි ජනාධිපතිතුමා සීනි වලට උපරිම සිල්ලර මිලක් දැම්මේ. ඒ තීරණයත් එක්ක මේ බදු වැඩිකිරීමෙන් අයුතු ලාභ ලබන්න බැරිවෙනවා.

අද මේ රටේ තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ හැමෝම ඉන්නවා. කාටවත් මේ ආණ්ඩුව පොදුජන පෙරමුණේද, එක්සත් ජාතික පක්ෂයේද සමගි ජන බලවේගයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියලා කියන්න බැහැ. මොකද මේ හැමෝම වර්තමාන ආණ්ඩුවේ ඉන්නවා. මේ ආණ්ඩුව හැදුණේ රටේ මිනිස්සු අමාරුවේ වැටුණ වෙලාවෙයි. මේ ආණ්ඩුව තමයි රටේ මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඔවුන්ව ගොඩගත්තේ.

බඩු මිල වැඩි වෙලා තියෙනවා, ගෑස් මිල වැඩි වෙලා තියෙනවා, විදුලි බිල වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ වැඩිකරලා තියෙන්නේ මේ විදිහට හරි තෙල් ටික, ගෑස් ටික දීලා ණය ප්‍රතිව්‍යුහගතකරණයට යන්නයි. අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැත්තම් අපිට දිගටම බංකොලොත් රටක් විදිහටයි ඉන්න වෙන්නේ.

එහෙම වුණොත් තවදුරටත් අපේ රටට සල්ලි කීයක්වත් ගේන්න ලැබෙන්නේ නැහැ. තව මාස තුන හතරකට පස්සේ රටේ ප්‍රතිව්‍යුහගතකරණය වුණාට පස්සේ, ලංකාවට ආයෝජකයින් එන්න පටන් ගන්නවා. ව්‍යාපාර දියුණු වෙනවා. එතකොට මිල අඩුකිරීම කෙසේවෙතත් හැමදෙනාගේම අතේ සල්ලි ගැවසීම වැඩිවෙනවා.

අපි රාජ්‍ය ආයතන කිසිවක් පාඩුවට දුවන්න ඉඩ දෙන්නේ නැහැ. සියලුම ආයතන පාඩු නොලබන ආයතන බවට පත්විය යුතුයි. ඒ වගේම ජනතාවගේ අතේ සල්ලි වැඩිවෙන නිසා ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවෙනවා. ඒ වගේම අස්වැසුම ඔස්සේ සුබසාධන කටයුතු ලෙස රුපියල් පහළොස් දාහක් ලැබෙනවා. ඒ වැඩකටයුතු නිසා සියලුම පාර්ශවයන් සමබර වෙනවා.

අද වෙනකොට පොළී අගය අඩුවෙලා තියෙනවා. එයින් පොඩි ව්‍යාපාරිකයාට වාසියක් වෙලා තියෙනවා. අපි කළ යුත්තේ ජනතාවගේ ආදායම වැඩිකිරීමයි. ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට තත්ත්වය ගොඩක් යහපත් අතට හැරෙයි කියලා මට කියන්න පුළුවන්.”