January 24, 2024

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු පෙරේදා (22) රාත්‍රී කිඹුල් ප්‍රහාරයකට ලක්ව, එම කිඹුලා විසින් ඇදගෙන යන අවස්ථාවේ දී දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරි ඇති අතර, දැඩි ලෙස තුවාල ලැබූ එම රැඳවියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ, එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි සිරකරුවෙකි.

මෙම රැඳවියා ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී, උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලෙකු මෙම සිරකරුගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇදගෙන ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරියකු පවසයි.

කිඹුල් ප්‍රහාරයට ලක්වූ එම රැඳවියාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, එම තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (23) උදෑසන ශෛල්‍ය කර්මයකට භාජනය කර ඇත.

එම රැඳවියා මල් අතු ඔයේ දිය නාමින් සිටිය දී මෙම කිඹුල් ප්‍රහාරයට ලක් වූ බවට ලැබුණු තොරතුරකට අනුව ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප පුවත්පත’ කළ විමසීමකදී උසස් බන්ධනාගාර නිලධාරියකු එය ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සිර කඳවුරේ වගා කටයුතු කරමින් සිටිය දී ඊයේ රාත්‍රී එම කිඹුල් ප්‍රහාරය එල්ල වූ බව ද සඳහන් කර තිබේ.

ඊයේ (23) උදෑසන එම කිඹුල් ප්‍රහාර එල්ල වූ ස්ථානයට ජනමාධ්‍යවේදීන් පිරිසක් යනවිටත්, විශාල ප්‍රමාණයේ කිඹුලකු මල්වතු ඔය තුළ ඒ මේ අත සැරි සරන අයුරු දැක ගැනීමට හැකිව ඇත.

මල්වතු ඔයේ සිටින කිඹුලන් නිසා එම ඔය දෙපස සිටින තම ජිවිත ද ඉතා අනතුරේ ඇති බව ඔය දෙපස සිටින ජනතාව පවසති.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මේ වනවිට මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක් ද ආරම්භ කර ඇති අතර, ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ද ජීවිතය අනතුරේ ඇති බව ඔවුහු අනාවරණය කළහ.

ප්‍රදේශවාසීහු වගකිව යුතු බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මල්වතු ඔයේ සිටින කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දමන ලෙසය.(දිවයින)

42.31%
17.27%
32.76%