42.31%
17.27%
32.76%
October 17, 2023

ඉන්ධන පිරවුම්හල් සඳහා බැරපත්(Debit card) මගින් කරන ගෙවීම්වලදී පාරිභෝගිකයාගෙන් අයකරන අමතර මුදල සම්බන්ධයෙන් බොහෝ වාණිජ බැංකු පාරිභෝගිකයින් දැනුවත්කර නොමැති බව හෙළිවී තිබේ.

මෙලෙස කපාගැනෙන මුදල සියයට 1කි.

හරපත්(Credit card) මගින් මෙන් නොව බැරපත්(Debit card) මගින් කරන ගෙවීම්වලදී මුදල අදාළ මොහොතේදීම පාරිභෝගිකයාගේ ගිණුමෙන් බැරකර ගැනීම සිදු වේ.

එසේ තිබියදීත් බැංකු මගින් මෙවැනි මුදලක් අයකර ගැනීමේ පදනම ගැටලු සහගත වේ.

එසේ බැරකර ගැනීමේ දී සාමාන්‍යයෙන් මුදලක් බැර වූ බව දන්වමින් බොහෝ වාණිජ බැංකු යොමුකරන කෙටි පණිවුඩයේ දැක්වෙන්නේ ඉන්ධන සඳහා කරන ලද ගෙවීමට අදාළ මුදල පමණි.

එහෙත් බැංකු ප්‍රකාශන පරීක්ෂා කළහොත් පමණක් ඉන්ධන සඳහා බැර කෙරුණු මුදලට අමතරව බැංකුව විසින් අයකරගෙන ඇති සියයට 1ක ගාස්තුව ද වෙනමම බැරකර ගෙන ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

මේ සම්බන්ධයෙන් වාණිජ බැංකුවකින් කළ විමසීමේ දී එහි නිලධාරියකු ප්‍රකාශ කළේ, මෙම අයකිරීම ඉන්ධන පිරවුම්හල් සඳහා කරන ගෙවීම්වලට පමණක් අදාළ වන බවය.

එහෙත් එහි ඇති නෛතික තත්ත්වය සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වූයේ නැත.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමට උත්සාහ කළ ද ඊට සාධනීය අවස්ථාවක් හිමි නොවිණි.

කොවිඩ් වසංගතය පැවති සමයේ දී සෞඛ්‍ය අංශ බොහෝවිට ජනතාව උනන්දු කළේ රෝග පැතිරීම වළක්වා ගැනීමට කාඩ්පත් භාවිතයට යොමුවන ලෙසය.

එම ආරම්භයත් සමග මේ වනවිට මෙරට ජනගහනයෙන් සැළකිව යුතු පිරිසක් කාඩ්පත් භාවිතයට යොමුවී තිබේ.

ප්‍රායෝගිකව එය වාඩාත් ආරාක්ෂාකාරී බැවින් බැංකු සිදුකළ යුතු වන්නේ මෙවැනි අවස්ථාවක පාරිභෝගිකයා දිරිගැන්වීමය.

හරපත් සඳහා වට්ටම් ලබාදීමට පවා බැංකු පෙළඹෙන පසුබිමක බැරපත් මගින් ඉන්ධන සඳහා ගෙවීමේදී අමතර සියයට 1ක් අයකරගනු ලබන්නේ කුමන පදනමකින් ද යන්න වඩාත් ගැටලුසහගත වේ.

මේ නිසා ආර්ථික ගැටලුවලින් සහ බදු බරින් දැනටමත් බැටකමින් සිටින මෙරට ජනතාවගේ බැරපත් මගින් බැංකු සියයට 1ක අමතර ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් දැන් හෝ නිසි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

42.31%
17.27%
32.76%