January 12, 2025

මේ වන විට චීනයේ ව්‍යාප්ත වන බව පැවසෙන, හියුමන් මෙටැප්නියුමෝ වයිරසය හෙවත් HMPV මෙරට සංසරණය වන බව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී හඳුනාගෙන ඇති බවත් ඒ පිළිබඳ කලබල වීමට හෝ සමාජ මාධ්‍ය පළකිරීම් මගින් නොමඟ යැවීමට අවශ්‍ය නොවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

“අපගේ සාම්පල කිහිපයක් මෙටජෙනොමික් අනුක්‍රමණයට (නියැදියක ඇති සියලුම රෝග කාරක හඳුනා ගන්නා අනුක්‍රමික ප්‍රවේශයක්) ලක් කළ විට අපි ශ්‍රී ලංකාවේ HMPV හඳුනාගෙන තිබුණා” යැයි ඇය පවසන්නීය.

2023 දෙසැම්බර් මාසයේදී කොළඹින් ලබාගත් සාම්පලයකින් හඳුනාගත් HMPV හි සම්පූර්ණ ජෙනෝම අනුපිළිවෙළ තම දෙපාර්තමේන්තුව සතුව ඇති බවට ඇය සහතික කරයි.

විශේෂඥ වෛද්‍ය අතිකා අක්‍රම් විසින් මහනුවර ජාතික රෝහලේ දී බොහෝ ආසාදිතයන් හඳුනාගෙන ඇති බව ඇය පෙන්වා දුන්නාය.

2016-2018 කාලය තුළ කෑගල්ල මහ රෝහලේ ළමුන් 500ක් අතර සිදු කරන ලද අධ්‍යයනයක් පිළිබඳව ද ඇය සඳහන් කළාය.

එහිදී පෙන්නුම් කර ඇත්තේ ළමුන්ගෙන් 23.8%කට HMPV ආසාදනය වී ඇති අතර ඇතැම් ළමුන්ට සාමාන්‍ය බ්රොන්කයිලයිටිස් තත්ත්වයේ සිට දරුණු බ්රොන්කයිලයිටිස් තත්ත්වය දක්වා ඇති බවත්ය.

මෙම සොයාගැනීම් ශ්‍රී ලංකා බෝවන රෝග පිළිබඳ ජර්නලය 2021 වෙළුමේ 11 (අතිරේකය) S2:12 හි ප්‍රකාශයට පත් කර ඇත.

මහාචාර්ය මලවිගේට අනුව, ඇගේ දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් සහ 2025 ජනවාරි මාසවලදී HMPV සඳහා පරීක්ෂා කර නැත්තේ එය වෛරස් ආසාදන සඳහා සුපුරුදු ‘සමය’ වන බැවිනි.

නමුත් වෛරසය ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ සංසරණය වෙමින් ආසාදන ඇති කරන බව ඉතා පැහැදිලිය.

“පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නේ HMPV වෛරසය ශ්‍රී ලංකාවේ මීට පෙර බහුලව සංසරණය වුවත් ප්‍රධාන ගැටලුවක් නොතිබූ බවයි,” යනුවෙන් පවසන මහාචාර්ය මලවිගේ නැවත අවධාරණය කළේ, දෙසැම්බර්-ජනවාරි මාසවල ශ්වසන ආසාදන ඇතිව රෝහල්වලට ඇතුළත් කෙරුණු රෝගීන්ගේ ආසාදනයන්ට HMPV වෛරසය එක් හේතුවක් පමණක් බවත්ය.

අවම වශයෙන් 2001 සිට ලොව පුරා සංසරණය වන HMPV වෛරසයට කොවිඩ් 19 වැනි වසංගතයක් ඇති කළ නොහැකි බව ඇය අවධාරණය කළාය.

 

42.31%
17.27%
32.76%