July 12, 2023

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු 2015 වසරේදී ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද(12) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙයි.

එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දුගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකාර අමිල ප්‍රියංක අමරසිංහ නැමැත්තා තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලනය ජීවිතයට අපහාසයක් සිදු කිරීමේ අරමුණින් නොවන බව සඳහන් කළේය.

තමා වෙළඳසැලේ සේවය කරමින් සිටියදී පිරිසක් පැමිණ තමාව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කාර්යාලයට රැගෙන ගිය බව සඳහන් කළ සාක්ෂිකරු එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේසයක් උඩ වාඩිවී කකුල් පද්දමින්”මම තමයි ඔයාව එක්ක එන්නෙ කිව්වේ” යනුවෙන් ප්‍රකාශ කළ බවත් පැවැසීය.

ඒ අනුව මෙම සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ බවත් ඇය තමන්ට තර්ජනය කළ බවත් සාක්ෂිකරු කියාසිටියේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කරන කරුණු බොහෝමයක් ඔහු විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

විත්තිකාරියගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බොරු සාක්ෂි ලබාදෙන බවට විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරු තමන් අධිකරණය හමුවේ ප්‍රකාශ කරන්නේ සත්‍ය පමණක් බවත් කියා සිටියේය.

ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබාදී විත්තිකාරියගේ දේශපාලන ජීවිතයට අපහාසයක් සිදු කිරීමේ අරමුණින් මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවට විත්තිය විසින් ඉදිරිපත් කළ යෝජනාව ද සාක්ෂිකරු විසින් ප්‍රතික්ෂේප කළේය.

තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ද්වේශසහගත චේතනාවකින් නොවන බවත් සාධාරණය අපේක්ෂාවෙන් පමණක් තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනමාධ්‍ය සාකච්ඡාවක දී දැක් වූ අදහස් අඩංගු වීඩියෝවක් ද අධිකරණය හමුවේ ප්‍රචාරය කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක මහේෂ් රුවන් ගුරුසිංහගෙන් සාක්ෂි විමසීම සිදුකළේය.

අනතුරුව වැඩිදුර අඩු විභාගය සැප්තැම්බර් මස සඳහා 04 වැනිදා දක්වා කල්තැබීමට ද අධිකරණය නියම කෙරිණි.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ගේ ආධාරකරුවන් අටදෙනකු ද නම් කර තිබූ අතර ඔවුන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් ද නියම කර ඇත.