December 28, 2023

සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වී සිටි පස්දෙනෙකු ඊයේ (27) සවස කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානයේ සිටි වින්දිත කාන්තාවක පොලිසිය සිටින දිසාව වීඩියෝ කරමින් සිටියදී ඇය සහ සෙසු පිරිස අත්අඩංගුවට ගත් බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු පැවසූහ.

පොලිසියේ කතා

පසුව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පාර්ශ්වයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ අධිවේගී මාර්ගය අවහිර කිරීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. පිරිස සත්‍යග්‍රහයේ යෙදුණු ස්ථානය අධිවේගී මාර්ගය නොවන බව පැහැදිලි කිරීමෙන් පසු පොලිසිය පැවසුවේ ඔවුන් මහජනතාවට පීඩාකාරී ලෙස හැසිරුණු බවයි.

කෙසේවෙතත් දිගින්-දිගට විමසීමේදී පොලිසියට නිශ්චිත පිළිතුරක් ලබාදිය නොහැකි විය.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි චන්දනගෙන් විමසීමේදී ඔහු පැවසුවේ නිශ්චිතව කිසිවක් පැවසිය නොහැකි බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලයෙන් පමණක් තොරතුරු ලබාගන්නා ලෙසත් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගේ දුරකතනයට දිගින්-දිගටම ප්‍රතිචාර දැක්වූයේ වෙනත් නිලධාරියෙකි.

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරිය සතු භූමියක අට්ටාලයක් ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බවත්, සාපරාධී බලහත්කාරය පෑම යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ මෙම දක්වන ලද හේතු සියල්ල විසඳුණු පසු, අදාළ වින්දිත ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාමකාමී ලෙස භුක්ති විඳිමින් සිටින අතරතුරදී ය.

පොලිසියේ බාධා

අත්අඩංගුවට ගත් සංජීව කුලතිලක බැලීමට කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගිය ඔහුගේ බිරිඳට ඊට දැඩි ලෙස බාධා කර ඇති පොලිස් නිලධාරීන්, අවසානයේදී ඇයට පොලිසිය තුළට පිවිසීමට ඉඩලබා දී තිබේ.

පසු හැසිරීම්

පොලිසිය ඉදිරිපිට සිටි වින්දිත පිරිස ද ඉවත් කිරීමට මුලදී පොලිස් නිලධාරීන් උත්සාහ දරා තිබිණි. කෙසේවෙතත් පසුව පොලිසිය ඔවුන් සමග සුහද ව කටයුතු කිරීම අරඹා ඇත.

පොලිසියේ ක්‍රියාමාර්ග

ඊයේ උ⁣දෑසන මාර්ගයට හෝ පදිකයන්ට කිසිදු බාධාවක් නොකරමින්, සත්‍යග්‍රහයට අට්ටාලයක් ගැසීමට යද්දී අදාළ දේපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

HRC / NPC

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට අදාළ වින්දිත පවුල් එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරු සංජීව කුලතිලක පැමිණිලි කළ අතර, ඒ අනුව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂවරයකු ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් තිබිණි.

ඔවුන් පිටවී ගොස් මඳවේලාවකින්, පොලිසිය පැමිණිලිකරු සංජීව කුලතිලක ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

2017 සිට !

සංජීව කුලතිලක යුක්තිය වෙනුවෙන් 2017 සිට දිගින්-දිගටම සටන් කරන ක්‍රියාකාරිකයෙකි. පොලිසිය මීට පෙර අවස්ථාවක ද ඔහු අත්අඩංගුවට ගෙන මුදාහැර තිබිණි.

කුරුණෑගල මූලස්ථාන පොලිසිය, මෙම මධ්‍යම අධිවේගී මාර්ග ගැටලුව ගැන ඉදිරිපත් කළ පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් විභාග කිරීම පැහැරහැරීම ගැන සංජීව කුලතිලක මීට මාස කිහිපයකට පෙර මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළේය.

අභියාචනා

එසේම මීට අදාළ තොරතුරු ලබානොදීම සම්බන්ධයෙන් සංජීව ප්‍රමුඛ වින්දිතයන් මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ද පැමිණිලි කරන ලදි. එම අභියාචනා විභාගයක් සඳහා කුරුණෑගල සිට එම කොමිසමේ කාර්‍යාලය පිහිටා ඇති කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට ගිය වින්දිත ජනතාවට කොමිෂන් සභා පරිශ්‍රයට ඇතුළු වීම වැලැක්වීමට පොලිසිය කටයුතු කිරීම නිසා ආන්දෝලනාත්මක තත්ත්වයක් ද ඇති විය.

පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් අද සත්‍යග්‍රහය ස්ථානයට පැමිණි පොලිසියේ පිරිසක් එම අට්ටාලය ඉදිකිරීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කර තිබිණි. අට්ටාලය ඉදිකරන්නේ මාර්ගයට හෝ පදිකයන්ට හෝ කිසිම බාධාවක් නොවන ලෙස බවත්, මෙම වින්දිතයන් මුහුණ දෙන ගැටලුවේ බරපතළකම ගැනත් සංජීව විසින් පැහැදිලි කළ ද, පොලිසිය එය නොතකා භාණ්ඩ අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇත.

අනතුරුව වින්දිත ජනතාව අට්ටාලය වෙනුවට බිම වාඩිවී සත්‍යග්‍රහය ආරම්භ කර තිබිණි.

ගැටළුව

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ අවසන් කිලෝමීටර් කිහිපයේ ඉදිකිරීම් කිරීමේදී පරිසර තක්සේරු වාර්තා උල්ලංඝනය කරමින් කටයුතු කිරීමත්, වින්දිත ජනතාවට හිමිවිය යුතු සාධාරණ වන්දි මුදල් ලබානොදීමත් හේතුවෙන් මෙම සත්‍යග්‍රහය ඇතුළු විරෝධතා සිදුකරමින් සිටී.

මේ සම්බන්ධයෙන් 2019 සහ 2020 වසරවල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර, 2018 සිට මේ දක්වා පොලිසියට කර ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට අධික වේ.

පොරොන්දුව

මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා මීට පෙර වින්දිත ජනතාවට පොරොන්දු වී තිබුණේ මෙම වසර අවසන් වීමට පෙර මේ ගැටළුවලට විසඳුම් ලබාදෙන බවයි.

42.31%
17.27%
32.76%