42.31%
17.27%
32.76%
October 5, 2024

වාර්ෂික පිළිකා ආශ්‍රිත මරණවලින් සියයට 70 ක් පමණ වාර්තා වන්නේ පහළ මධ්‍යම ආදායම් ලබන රටවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය බුද්ධිනි දෙනුවර පවසයි.

ඒ අතරින් පියයුරු පිළිකාව ප්‍රධාන බව ද ඇය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන පිළිකා රෝගයට පිළියම් යෙදීමේ හදිසි අවශ්‍යතාව ද වෛද්‍ය බුද්ධිනි දෙනුවර අවධාරණය කළාය.

“සෑම වසරකම, අපි රට තුළ පිළිකා රෝගීන් 37,000 ක් පමණ හඳුනාගැනෙනවා, එය සාමාන්‍යයෙන් දිනකට නව රෝගීන් 103 කට සමාන වෙනවා. මේ අතරින් පියයුරු පිළිකා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගය වන අතර වාර්ෂිකව රෝගීන් 5000ක් පමණ වාර්තා වෙනවා. එය වැළැක්වීම ප්‍රමුඛතාවයක් විය යුතුයි,” ඇය පැවසුවාය.

වසර ගණනාවක් පුරා පිළිකා ඇතිවීමේ ප්‍රතිශතය සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද වෛද්‍යවරිය පැවසුවාය.

“2005 දී ශ්‍රී ලංකාවෙන් පුද්ගලයන් 100,000 කට පිළිකා රෝගීන් 18.4 ක් වාර්තා වුණා. මෙම සංඛ්‍යාව 2014 දී 24.3 දක්වා ඉහළ ගිය අතර 2019 දී 34.9 දක්වා වැඩි වී තිබෙනවා” ඇය පැවසුවාය.

වයස අවුරුදු 50 ත් 54 ත් අතර පසුවන පුද්ගලයන්ගෙන් පිළිකා රෝගීන් බහුතරයක් හඳුනාගෙන ඇති අතර කාන්තාවන් වයස්ගතවීමත් සමග පියයුරු පිළිකා අවදානම වර්ධනය වන බව ද ඇය අවධාරණය කළාය.

“පියයුරු පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක් පමණ හඳුනාගනු ලබන්නේ වයස අවුරුදු 50 ට අඩු කාන්තාවන් වෙතින් පමණි. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව පියයුරු පිළිකාවෙන් ජීවිත 700ක් පමණ අහිමි වෙනවා. කල්තියා හඳුනාගැනීම ප්‍රතිකාර කිරීම සහ මහජන අවබෝධය වැඩිකිරීම තුළින් අපට මෙම මරණ අවම කර ගත හැකියි” සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය බුද්ධිනි දෙනුවර වැඩිදුරටත් පැවසුවාය.

42.31%
17.27%
32.76%