August 30, 2024

ආර්ථික අර්බුදයකට ලක්ව සිටින මහජනතාව මධ්‍යසාර මත පනවා ඇති ඉහළ බදු හේතුවෙන් නීති විරෝධී විකල්ප වෙත තල්ලු කරමින් සිටින බව ස්කාගාර සංස්ථාවේ(Distilleries Company of Sri Lanka-DCSL) ප්‍රධානී හැරී ජයවර්ධන පවසයි.

ස්කාගාර සංස්ථාව පසුගිය වසරේ විකුණුම්වල පහත වැටීමක් නිරීක්ෂණය කර තිබේ.

“ඉදිරිය බලන විට, දැනට පවතින බදු ප්‍රතිපත්ති පවත්වාගෙන ගියහොත් නීත්‍යනුකූල මධ්‍යසාර ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් ඇති කරන බව පේනවා” යැයි ජයවර්ධන වාර්ෂික වාර්තාවේ කොටස් හිමියන්ට පවසා තිබේ.

“නීත්‍යනුකූල මධ්‍යසාරවල දැරිය හැකි මිල තවදුරටත් අඩුවීමට ඉඩ ඇති අතර මත්ද්‍රව්‍ය ඇතුළු හානිකර නීති විරෝධී විකල්ප වෙත පාරිභෝගිකයන් තල්ලු කරමින් සිටිනවා. මෙම තත්ත්වය මත නීත්‍යනුකූල මධ්‍යසාර සඳහා බදු අය කිරීමේ ප්‍රවේශය නැවත ඇගයීමට ලක් කරන ලෙස අපි ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

මේ අතර, 2023 ජුලි 01 වැනි දින නිරපේක්ෂ මත්පැන් ලීටරයක් ​​සඳහා රුපියල් 5,000 සිට රුපියල් 6,000 දක්වා බදු වැඩි කළ බවත් තවත් රුපියල් 840කින් රුපියල් 6,840 දක්වා බදු ඉහළ දැමූ බවත් ස්කාගාර සංස්ථාව පවසයි.

මෙම වැඩිවීම් මධ්‍යසාර නිෂ්පාදනවල මිල ආසන්න වශයෙන් 58%කින් වැඩි කළා පමණක් නොව නීත්‍යනුකූල සහ නීති විරෝධී මධ්‍යසාර වෙළඳපොවල් අතර පරතරය ද පුළුල් කර ඇති බව හැරී ජයවර්ධන පවසයි.

සියයට 18ක එකතු කළ අගය මත බද්ද ඇතුළු අනෙකුත් විකුණුම් බදුවලින් මත්පැන්වලට ද බලපෑම් එල්ල වී තිබේ.

මේ අතර ඉහළ පෙළේ සුරාබදු නිලධාරියකු පවසා ඇත්තේ ඔවුන් වැටලීම් වැඩි කර ඇති බවයි.

කසිප්පු පෙරන ආකාරය විස්තර කරන යූ ටියුබ් වීඩියෝ මිලියන ගණනින් බැලීම් වැඩි කර ඇති බව ද පෙනී ගොස් ඇත.

මුදල් පසුම්බියට පහසු වීම සඳහා කසිප්පු දැන් කුඩා ප්ලාස්ටික් බෑග්වල විකුණනු ලබන බවටද වාර්තා වී ඇත.