August 31, 2024

විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂිවල හා සටහන්වල පැවති බලවත් පරස්පරතා නිසා හෙරොයින් ග්‍රෑම් 6.87ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30දා) නියෝග කළේය.

වැටළීමට අදාළව සටහන් සිය සාක්කු සටහන් පොත්වල තැබීමට පවා සමහර නිලධාරීන් අසමත් වී ඇති බවත් කාර්ය බහුලත්වය නිසා සටහන් තැබීමට නොහැකි වූ බව සමහර පොලිස් නිලධාරීන් පැවසීම මගින්ම ඔවුන්ගේ උදාසීනත්වය පෙන්නුම් කරන බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ විනිසුරුවරයා, සැකයේ වාසිය විත්තිකරුට ලබාදෙමින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නේ යැයි ද පෙන්වා දෙමින් එම නියෝගය කළේය.

එම තීන්දුව ප්‍රකාශයෙන් අනතුරුව විත්තිකරු සිනාසෙමින් විත්ති කූඩුවෙන් බැස යන අවස්ථාවේදී මොහොමඩ් සරිෆ් මොහොමඩ් ඉෆ්රාන් නමැති එම විත්තිකරු අමතමින් ද්‍රවිඩ භාෂාවෙන් අවවාද කළ විනිසුරුවරයා, තම අධිකරණය ලබාදුන් එම තීන්දුවෙන් අදහස් වනුයේ ඔහු එම වරද සිදුනොකළ බව නොව සාක්‍ෂිවල දුර්වලකම් නිසා තම අධිකරණය එවැනි නියෝගයක් කළ බවයි.

මහාධිකරණ භාෂණ පරිවර්තක ටී. ඩී. තුවාන් සදාම් විසින් අධිකරණය නිකුත් කළ එම තීන්දුව විත්තිකරුට කියවා දෙන ලදී.