November 9, 2023

මෙරට ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිතව පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය ඉතා සංකීර්ණ හා ගැඹුරු වන බැවින් එය විසඳීම අතුරු පාලක කමිටුවක් පත්කළ පමණින්ම සිදු කළ නොහැකි බවත්, ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව සැලකීමේ දී ඒ සඳහා ස්ථිර සාර විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කෙරුණු ඇමැති මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි වෙත ඊයේ (08) නිල වශයෙන් බාරදෙන ලදී.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන ජනාධිපති මාධ්‍ය අංශය මෙසේ පවසයි.

“මෙම සම්පාදිත ” චිත්‍රසිරි කමිටු වාර්තාව” පසුගිය මාසයේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබූ නමුත් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සහ 2024 අයවැය අවසානයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබිණි. නමුත් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව වෙත ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අවධානය සඳහා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ඒ අනුව එය අද (09) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිතය.

මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.

ඒ අනුව යෝජිත නව ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වසර 04ක කාලසීමාවකට පත්වන 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට යෝජනා කර ඇත. එම අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලතල ලබාදී එම තීරණ ක්‍රියාත්මක කිරීමේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයකු වෙත ලබාදීමට යෝජනා කර ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 08දෙනකු නම් කළ අධ්‍යක්ෂකවරුන් වන අතර ඔවුන්ව නිර්දේශ කිරීමේ බලය 06 දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවකට පවරා ඇත. එම කමිටුව ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා , ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු වශයෙන් යෝජනා කර ඇත.

සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා පත්වන්නේ නිල වරණයක් හරහාය. එම නිල වරණය මගින් ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් 5ක්, ක්‍රීඩක සංගමය නියෝජනය කරමින් 1ක්, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 1ක්, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් 01ක්, විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් 01ක් සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් 01ක් වශයෙන් තේරී පත්විය යුතු බවට යෝජනා කෙරේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත

ඒ ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලිකමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් යෝජනා කර ඇත.