March 17, 2025

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කළේය.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරිණි.

දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වැනිදා අභියාචනාධිරණය හමුවේ සළකා බැලිණි.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවයි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.

රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වාදුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟහරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළේය.

මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳවැටීමටද හේතුවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

පහළ අධිකරණ වලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා, එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියේය.

සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනීනොයන හෙයින්, ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර, අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥවරු විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණි.

එම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියාසිටියේ මෙම සිද්ධියට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සම්පූර්ණ පිටපත ලැබුණේ ඉකුත් සිකුරාදා බවත් එය අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය.

ඒ අනුව, මෝසම සම්බන්ධයෙන් කරුණු සළකා බලන තෙක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තබන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැඩි විරෝධය පළකළේය.

මෙවැනි ඉල්ලීම් වලට ඉඩනොදෙන ලෙසත් අදාළ මෝසෙම ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකාබැලූ මිනිසුරු මඩුල්ල අදාළ මෝසම ඉවත දමමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එමෙන්ම පෙත්සම්කරුට අධිකරණය මගහැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.