February 1, 2025

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගීකරණය වන පෞද්ගලික භාවිතය සඳහා යොදාගන්නා වාහන ආනයනයට රජය අද සිට අවසර ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව 1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇත.

ඒ අනුව, අද සිට ආනයනයට අවසර හිමි වන්නේ පෞද්ගලික භාවිතය සඳහා යොදාගන්නා කාර් සහ වෑන් ආදි මෝටර් වාහන, පොදු ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහන මෝටර් වාහන, විශේෂ කාර්යය රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම සඳහාය.

රජය විසින් ආනයන සීමා ඉවත්කිරීමත් සමග මෝටර් වාහන ආනයනකරුවන් ඒවායෙහි මිළ ගණන් සම්බන්ධයෙන් අදහස් පළකරනු ලැබීය.

ඔවුන්ගේ ගණනය කිරීම් අනුව දළ වශයෙන් වාහන මිල ගණන් මෙසේයි.

දැනට රුපියල් ලක්ෂ 130 ක පවතින ටොයෝටා RAIZE රථයක නව මිල රුපියල් ලක්ෂ 155 ක් දක්වා ඉහළ යා හැකිය.

දැනට රුපියල් ලක්ෂ 175 ක් ලෙස මිල පවතින හොන්ඩා VEZEL රථයක් රුපියල් ලක්ෂ 10 ත් 15 ත් අතර මිලකින් ඉහළ යා හැකි අතර එම රථයක නව මිල රුපියල් ලක්ෂ 190 ක් දක්වා ඉහළ යා හැකිය.

එමෙන්ම WAGON R රථයක් රුපියල් ලක්ෂ 70 ක් පමණ දක්වා මිල ඉහළ යා හැකි අතර ජපන් ALTO මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 40 ත් 50 ත් අතර මිලක් දක්වා ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පෙන්වාදෙති.

42.31%
17.27%
32.76%