April 17, 2025

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර හයක් ගතවී ඇතත්, ඊට යුක්තිය ඉටුකිරීම සහතික කිරීම සඳහා තීරණාත්මක අංශ කිහිපයක් පිළිබඳව තවමත් ගැඹුරු පරීක්ෂණයක් සිදුකර නොමැති බව සමාජය හා සාමය සඳහා වූ මධ්‍යස්ථානයේ ඊයේ පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදී හෙළිවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරවලට අදාළ පුළුල් පරීක්ෂණ සහ වාර්තා විශ්ලේෂණයන්ගෙන් පසුව, ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ අනෙකුත් විමර්ශන ආයතන වෙත මෙම නොවිසඳුණු ගැටළු පිළිබඳව විධිමත් ලෙස දැනුම් දී ඇති බව ජනමාධ්‍ය හමුවට එක්වූ පාර්ශව ප්‍රකාශ කළහ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පරීක්ෂාවට ලක්කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර පහක් පවතින බවට්යි.

1. අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් – විමර්ශනයේදී නොසළකා හරින ලද ජමීල්, දෙහිවල ට්‍රොපිකල් ඉන් හි පිපිරීම අතරතුර මියගියේය. 2018 සිට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඔහුව සමීපව නිරීක්ෂණය කළද, ප්‍රහාරයට පෙර ඔහුගේ සම්බන්ධය අනාවරණය නොවීය.

2. අබු හින්ද් – සහරාන්ට සම්බන්ධ, අබු හින්ද්ගේ සැබෑ අනන්‍යතාවය තවමත් නොදන්නා අතර නිසි පරීක්ෂණයක් පවත්වා නොමැත. රිල්වාන් සහ අනෙකුත් අය සියදිවි නසාගැනීමට පෙර, අබු හින්ද් ඔවුන් සම්බන්ධ කර ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් ද කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැත.

3. සාරා ජැස්මින් – මියගොස් ඇති බවට විශ්වාස කෙරේ, ඇය තවමත් ජීවතුන් අතර සිටිය හැකි බවට පිළිගත හැකි සැළකිව යුතු සාක්ෂි තිබේ. එසේ නොමැති නම්, ඇයට සිදුවූයේ කුමක්ද යන්න තීරණය කළ යුතුය.

4. පරස්පර සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ – සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ කිහිපයක නොගැලපීම් ඇති අතර ඒවා විසඳා නොමැත.

5. අතුරුදහන් වූ සාක්ෂි – ජමීල්ගේ දුරකථනය සහ ISIS සංවිධානය වෙත පක්ෂපාතී බවට වන ප්‍රතිඥා දෙන වීඩියෝවක දක්නට ලැබෙන T-56 තුවක්කුව වැනි ප්‍රධාන සාක්ෂි සොයාගෙන හෝ ඒ පිළිබඳව විමර්ශනය කර නොමැත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ හයවැනි සංවත්සරය ළඟාවන විටත්, විමර්ශනයේ විශාල හිඩැස් පවතින බව මෙම ජනමාධ්‍ය හමුවේදී හෙළිවිය.

එහිදී කියැවුණු වැඩිදුර කරුණු මෙසේය.

අප්‍රේල් 20 වැනි දින, සවස 4:17 ට පමණ, අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළුවිය. පසුදා උදෑසන, මුල් යතුර නැතිවූ බව පවසමින්, තවත් යතුරක් ඉල්ලා සිටීමට ඔහු ලොබියට පැමිණියේය. මෙම මුල් යතුර තිබුණේ කොහේද යන්න තවමත් නොදන්නා අතර, එය කවුරුන් සතුව තිබුණේද යන්න විමර්ශනවලින් තවමත් අනාවරණය වී නොමැත.

ප්‍රහාරය සිදු වූ දින පෙ.ව. 8:51 ත් 8:54 ත් අතර කාලය තුළ ජමීල්ට අභිරහස් ඇමතුමක් ලැබුණු අතර, එය ඔහුට හෝටලයෙන් පිටව යෑමට හේතු විය. ඇමතුම දුන් පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් අනාවරණය වී නොමැත. ඊට අමතරව, පෙ.ව. 8:30 ට ජමීල්ගේ බිරිඳට පසුබිමේ හඳුනා නොගත් හඬක් සහිත හඬ පණිවිඩ තුනක් ලැබී තිබේ. මෙම පණිවිඩවල ආරම්භය සහ ඊට සම්බන්ධ පසුබිම් හඬවල් ගැන විමර්ශනය කර නොමැත.

ජමීල් අප්‍රේල් 19 වැනි දින ඔහුගේ නිවසින් පිටව ගොස් අප්‍රේල් 21 වැනි දින බෝම්බය පුපුරුවා හැරියේය. ප්‍රහාරයෙන් පසුව, ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීහු ඔහුගේ නිවසින් CCTV කැමරා පද්ධතියේ DVR ඒකකය ලබාගත්හ. කෙසේවෙතත්, අප්‍රේල් 19 වැනි දින සිට ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් පැමිණෙන තෙක් කාලයේ වීඩියෝ පටිගත කිරීම් මකාදමා ඇත.

තවද, පල්ලියට ඇතුළු වන විට ජමීල් සතුව තිබූ ඔහුගේ දුරකථනය සොයා ගැනීමට හෝ විමර්ශනය කිරීමට නොහැකි විය. ජමීල් සහ තවත් අය ISIS සංවිධානයට පක්ෂපාතී බවට ප්‍රතිඥා දෙන වීඩියෝවක දක්නට ලැබුණු T-56 තුවක්කුව ද තවමත් අතුරුදහන් වී ඇත.

සම්පූර්ණ සත්‍යය අනාවරණය කරගැනීමට සහ වගවීම සහතික කිරීමට මෙම නොවිසඳුණු කරුණු පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් පවත්වන ලෙස එම ජනමාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.