August 14, 2023

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් මාස අටක වැඩ තහනමක් පනවා තිබියදී, අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල් හක් දිගටම එම ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් (JMO) පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

අදාළ වෛද්‍යවරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, තමාට එම තනතුරේ කටයුතු කිරීමට බාධාවක් නොමැති බවත් එම අත්හිටුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අභියාචනයක් ඉදිරිපත් කළ බවත්ය.

වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍යවරයෙක් අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් තවදුරටත් එම ධූරයේ කටයුතු කළ නොහැකි බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.

වැඩ තහනමට ලක්ව සිටියදී ඔහුට තවදුරටත් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයෙක් ලෙස කටයුතු කිරීමට හැකි වන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බව ද ඇමැතිවරයා පවසයි.

මේ අතර, ඔහුට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය චර්යා කමිටුව (PCC) චෝදනා තුනක් එල්ලකර ඇත.

අදාළ ලේඛනවලට අනුව, 2009 ජුනි මාසයේ නුවරඑළිය දිසා රෝහලට අනුයුක්තව මෙම වෛද්‍යවරයා සේවය කරන කාලයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. ඒ. රත්නසේන නමැත්තෙක් ඔහුට එරෙහිව වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ නිල නිවස ඉදිරිපිටදී එම පුද්ගලයා සහ වෛද්‍යවරයා අතර වාචික ආරවුලක් ඇති වූ බව රත්නසේන ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

බහින්බස් වීමත් සමඟ වෛද්‍යවරයා නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ, රත්නසේන අත්අඩංගුවට ගෙන වෛද්‍ය නීති පරීක්ෂණයකට (MLE) ඉදිරිපත් කරන ලෙසටය.

රත්නසේන ‘මත්පැන්වලට ඇබ්බැහි වී සිටි’ බවට හක් පසුව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාව මත රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් රත්නසේනට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් (නඩු අංක 94954) හමුවේ බී වාර්තාවක් ගොනු කර තිබේ.

අනතුරුව, මෙම නඩුව ඉදිරියට ගෙන යෑමට අදහස් නොකරන බව පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටීම නිසා රත්නසේන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මූලික ක්‍රියාදාම කමිටුව ඔහුට එරෙහි රත්නසේනගේ පැමිණිල්ල ප්‍රථමයෙන් සලකා බලා ඇති අතර, පසුව වෛද්‍යවරයාට එරෙහි මූලික චෝදනා පවතින බවට වූ නිර්දේශයක් සමඟ එම කමිටුව වෙත යොමුකර තිබේ.

ඒ අනුව, 2019 සැප්තැම්බර් 18 දිනැති චෝදනා පත්‍රයක් ඔහු වෙත භාර දී ඇති අතර, එහි චෝදනා තුනක් අඩංගු විය.

පළමු චෝදනාව – රත්නසේන නමැත්තෙක් මත්පැන් පානය කර වෛද්‍ය වෘත්තියට අපකීර්තියක් ගෙන දෙන හැසිරීමක් සම්බන්ධයෙන් වෛද්‍ය නීති පරීක්ෂණ පෝරමය (MLE) අංක 138/2009 හි හිතාමතා සහ දැනුවත්ව වැරදි තොරතුරු සඳහන් කිරීම.

දෙවන චෝදනාව – නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් කර තමන් සමඟ පෞද්ගලික තරහක් ඇති කරගත් රත්නසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ එමඟින් ඔහුගේ බලතල අයුතු ලෙස භාවිත කිරීම.

තෙවැනි චෝදනාව – වෛද්‍ය වෘත්තිය අපකීර්තියට පත් වන අයුරින් සදාචාර විරෝධී ලෙස ක්‍රියා කිරීම සහ “SLMC හි ලියාපදිංචි වෛද්‍ය සහ දන්ත වෛද්‍යවරුන් සඳහා සදාචාරාත්මක හැසිරීම් පිළිබඳ මාර්ගෝපදේශ” උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීමයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය චර්යා කමිටුව කරන ලද පරීක්‍ෂණයේදී චූදිත වෛද්‍යවරයා විසින් තමාව කිසිදු පරීක්ෂණයකට ලක්නොකළ බවට රත්නසේනගේ ස්ථාවරය අභියෝගයට ලක්කිරීමට ඔහුට නොහැකි වී තිබේ.

වෛද්‍යවරයා රත්නසේන පිළිබඳ වෛද්‍ය නීති පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, රත්නසේන සම්බන්ධයෙන් කිසිදු විභාගයක් නොපවත්වා බව ද එයින් ගම්‍ය වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර එච්. ඩබ්ලිව්. දිසානායක ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් හතරදෙනකුගේ අත්සනින් යුතු අදාළ විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ, වෛද්‍යවරයාට එරෙහි පළමු සහ දෙවැනි චෝදනා තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, අදාළ ප්‍රතිපාදන යටතේ ඔහුට මාස අටක වැඩ තහනමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තීය චර්යා කමිටුව විසින් පනවා ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති අත්හිටුවීම 2023 අගෝස්තු 20 දිනෙන් අවසන් වීමට නියමිතය.

ඔහු අධිකරණ වෛද්‍ය නිළධාරිවරයෙක් ලෙස සේවය කරන විට වකුගඩුවක් ආසාදනය වීමෙන් පසු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජුලි 28 වන දින මිය ගිය දරුවාගේ ද, මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් සහ හම්ඩි ෆස්ලින් යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර ඇති අතර ඒවා ආන්දෝලනයට තුඩුදී තිබේ.