December 5, 2023

බළපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් සිංහ සමාජයෙන් මුල්ගල් තබා ඉදිකිරීමට සුදානම් වූ සුපිරි තත්ත්වයේ වැසිකිළිය හෙදියන් සහ සියලු වෘත්තීය සමිති වල විරෝධය නිසා ඉදිකිරීම නතර වී තිබෙන බව බළපිටිය මූලික රෝහලේ රෝහල් අධිකාරි වෛද්‍ය අතුල ක්‍රිශාන්ත බළපිටිය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී පවසා ඇත.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් පී. ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම රැස්වීමේ දී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූරෝහල් අධිකාරීවරයා මෙසේ ද සඳහන් කර තිබේ.

“විශාල මුදලක් වැය කරල සුපිරි තත්ත්වයේ වැසිකිළියක් හදන්න මුල්ගල් තැබුවා. අන්තිම මොහොතේ හෙදියන් විරුද්ධ වුණා. ඒ අයගේ නේවාසිකාගාරය ආසන්නව ඉදිකළ විට දුර්ඝන්ධය ඇති වනවා කියලයි විරුද්ධ වෙන්නේ. එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ අය එය ඉදිකරන්නේ ඉහළ තත්ත්වයෙන්. සියලු වෘත්තීය සමිති මෙයට විරුද්ධයි.ඒ විරෝධතාවයන් නොසලකා මට ඉදිකරවන්න පුළුවන්. එවිට ලොකු වැඩ වර්ජනයක් ගියොත් අසරණ රෝගීන් තමයි අසීරුතාවයට පත්වන්නේ. එමෙන්ම විශාල මුදලක් වැය කරල ඉදිකරල කඩා දමන්න වුණොත් ලොකු අපරාධයක් වෙනවා. එහෙම වුණොත් දානපතියන්ගේ හිත රිදෙන්න පුළුවන්. බෙහෙත් දෙන ස්ථානය අසලින් මේ වැසිකිළිය හදන්න කියල කිව්වත් දානපතියන් ඊට කැමැති නැහැ.”(දිවයින)

42.31%
17.27%
32.76%