August 6, 2024

බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් ඉවත් වී විරෝධතාවලින් පිරි රට හැර ගිය ෂීක් හසීනා නැවත දේශපාලනයට නොඑනු ඇතැයි ඇගේ පුත්, හිටපු ප්‍රධාන උපදේශක සජීබ් වජේඩ් ජෝයි පවසයි.

රට පරිවර්තනය කිරීමට ඇය උත්සාහ කළත් ඇගේ රජයට එරෙහිව ඇති දැඩි ජනතා අප්‍රසාදයෙන් කලකිරුණු ඇය ඉල්ලා අස්වීමට තීරණය කළ බව සජීබ් වජේඩ් ජෝයි බීබීසී ලෝක සේවයේ ‘Newshour’ වැඩසටහනේදී පවසා ඇත.

“ඇය බංගලාදේශය කණපිට හැරෙව්වා. ඇය බලයට පත්වන විට එය අසාර්ථක රාජ්‍යයක් ලෙසයි තිබුණේ. දුප්පත් රටක් හැටියට තිබුණේ. අද වන තුරු එය ආසියාවේ නැගී එන බලවතුන්ගෙන් එක් රටක් ලෙස සැලකුණා, ”යැයි ජෝයි පැවසීය.

ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ පසුගිය මාසය තුළ බංග්ලාදේශයේ 300කට වැඩි පිරිසක් මිය ගිය අතර, විරෝධතා ආරම්භ වූයේ රැකියා කෝටාවක් සම්බන්ධයෙනි.

එසේවුවද කෙටි කලකින් එය අගමැතිවරියට ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීමක් බවට පරිවර්තනය විය.

ෂීක් හසීනාගේ විවේචකයන් ඇයට චෝදනා කළේ දූෂණය සහ ඥාති සංග්‍රහය පමණක් නොව සිවිල් නිදහස කප්පාදු කිරීම ද සම්බන්ධයෙනි.

බොහෝ අය චෝදනා කළේ, ඇය ගෙන ආ ආර්ථික ප්‍රගතිය සහ සංවර්ධනය එම ක්‍රියා හේතුවෙන් යටපත් වූ බවයි.

විරෝධතාකරුවන් සම්බන්ධයෙන්ද රජය දැඩි ලෙස කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනා ඇගේ පුත්‍රයා ප්‍රතික්ෂේප කළේය.

“ඊයේ පමණක් පොලිස් නිලධාරීන් 13 දෙනෙක් පහර දී මරා දමා තිබෙනවා. ඉතින් මැර කල්ලි මිනිස්සුන්ට ගහලා මරනකොට පොලිසියෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ?” යනුවෙන් ඔහු විමසයි.

ෂීක් හසීනා ඉරිදා සිට ඉල්ලා අස්වීමට සළකා බලමින් සිටි බවත් ඇගේ පවුලේ අයගේ බලකිරීමෙන් පසු ඇයගේ ආරක්ෂාව සඳහා රට හැර ගිය බව ඔහු පැවසීය.