December 18, 2024

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අතර ‘අධිනීතිඥ’ නාමය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාචික ගැටුමක් ඇති විය.

අද පාර්ලිමේන්තුව අමතමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියාසිටියේ අධිකරණ අමාත්‍යවරයා ද වෘත්තීයමය වශයෙන් තමාව අධිනීතීඥ ලෙස හඳුන්වා ඇති බවයි.

අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා විසින්, ශ්‍රී ලංකාවේ නීති වෘත්තිකයන් විසින් තවදුරටත් භාවිත නොකරන අධිනීතිඥ යන නම සඳහන් කරමින් ජනතාව නොමඟ යවන බවට අධිකරණ අමාත්‍යවරයා කළ චෝදනාවට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අධිකරණ අමාත්‍ය නානායක්කාර, ඔහු වසර හතරක් රජයේ අධිනීතීඥවරයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන් කළේය.

“මම ඒ මාතෘකාව මෙතැනට ගෙනාවේ නැහැ. මම ඔබෙන් ඉල්ලා සිටියේ, ඔබ ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල මෙම නාමය භාවිතා කර ඇති බැවින් ඔබව අධිනීතිඥ ලෙස හඳුන්වන සුදුසුකම් ලබා දෙන සහතිකය ඉදිරිපත් කරන ලෙස පමණයි,” යැයි ඇමැති නානායක්කාර පැවසීය.

2023 අංක 26 දරන පනත උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියාසිටියේ නීතිඥ උපදේශකවරුන් සහ නීතිඥවරුන් ලෙස හඳුනාගෙන ඇති කාණ්ඩ දෙකක් පවතින බවයි. “උපදේශක කියන්නේ අධිනීතිඥ කියන එක. ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද?” පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා චෝදනා කළේ, අධිකරණ අමාත්‍යවරයා විසින්ද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එම නාමය භාවිත කර ඇති බවයි.

මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය නානායක්කාර පැහැදිලි කළේ, තමන් රජයේ අධිනීතිඥවරයකු ලෙස පමණක් කටයුතු කර ඇති බවත්, එය ඡන්දදායකයින් නොමඟ යැවීමට භාවිත නොකළ බවත්ය.

අනතුරුව මන්ත්‍රීවරුන් දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති විය.

42.31%
17.27%
32.76%