June 9, 2024

තමන්ට ජීවිත තර්ජන නොමැති බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් ‍සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කථානායකවරයාට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එල්ල වී ඇති බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඉකුත් සිකුරාදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දුන්නේය.

ඒ, නව වීසා නිකුත් කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය පිළිබඳ විමර්ශනය සම්බන්ධයෙන් තමාට තර්ජන එල්ල වන බව එදින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසුවය.

“….වීසා පහසුකම් සේවා පරීක්ෂණය අතරතුර මම බිය ගැන්වීම් සහ බොරු චෝදනා සඳහා ලක්වූයෙමි. මෙම අභියෝග තිබියදීත්, විනිවිදභාවය සහ වගවීම සඳහා මගේ කැපවීම ශක්තිමත්ව පවතී. ප්‍රධාන මූල්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළුව අපි බොහෝ දේ ඉටුකර තිබෙනවා,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිය ‘X’ ගිණුමේ පළකර තිබුණි.

ඊට පසුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට දන්වා තිබුණේ ඔහුට එරෙහිව කරන ලද තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි.

කෙසේවෙතත්, මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා තමන් සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බව පෙන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පැවසුවේය.

එමෙන්ම, එම අවස්ථාවේදී කථානායකවරයා තමන්ට ජීවිත තර්ජනයක් ඇත්දැයි විමසා සිටි බවත්, එවැනි තර්ජනයක් නොමැති බව පවසමින් ඊට ප්‍රතිචාර දැක්වූ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දන්වා තිබේ.

එවැනි පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් අවශ්‍ය නම් නැවත දැනුම් දෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පවසා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව එම පොලිස් නිවේදනයේ සඳහන් වේ.

42.31%
17.27%
32.76%