May 3, 2024

සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු පැවසුවේ, තමා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කෙරෙන විවිධ අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

අද ජනමාධ්‍ය අමතමින් ඔහු කියාසිටියේ විදේශ අමුත්තන්ට වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ ආන්දෝලනාත්මක ක්‍රියාවලිය ඉන්දීය සමාගම් වෙත ලබාදී ඇති බවට තමාට චෝදනා එල්ල වූ බවයි.

“මේ සම්බන්ධයෙන් මම පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. මාර්ගගත ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ මම පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. වීසා නිකුත් කරන ඉන්දීය සමාගම පිටුපස සිටින පුද්ගලයා මම බව පවසමින් අන්තර්ජාලයේ අසත්‍ය පෝස්ට් පළකර තිබෙනවා,” යැයි හෙතෙම පැවැසීය.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපල කළමනාකරණ කටයුතු ඉන්දීය සමාගමකට පැවරීමට ඉඩ ඇති බවට තමන් මීට පෙර කළ ප්‍රකාශයක්, පසුගියදා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයත් සමඟ ව්‍යාකූල වී ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.

“ගුවන් තොටුපළවල් තියෙන්නේ, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා යටතේ පවතින සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතේ. ආගමන විගමන කටයුතු ඇමැති ටිරාන් අලස්ගේ විෂය පථයට අයත් වෙනවා. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ගුවන් තොටුපල කළමනාකරණය සහ ආගමන විගමන ක්ෂේත්‍ර දෙක එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්,” ඇමැතිවරයා පැහැදිලි කළේය.

එමනිසා තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ඇමැති ප්‍රනාන්දු කියා සිටියේය.

42.31%
17.27%
32.76%