February 27, 2025

සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහි නඩුව ස්කයිප් (Skype) තාක්ෂණය හරහා විභාගයට ගන්නා ලෙස කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශවයේ ස්ථාවරය දැනුම්දෙන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවේ පසුවන ‘හරක් කටා’ නමැත්තා පළායාමට තැත්කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘හරක් කටා’ අද අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ රජයේ නීතීඥවරයා දන්වා සිටියේ ආරක්ෂක හේතූන් මත විත්තිකරු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බවයි.

තවද මෙම නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට අවසර දෙන ලෙසද පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය මාර්තු 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.