June 1, 2024

බොහෝ හෝටල්වල ක්‍රියාත්මක වන ‘සතුටු හෝරාව'(Happy Hour) ඉවත් කිරීමට මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ගත් හදිසි තීරණයසම්බන්ධයෙන් හෝටල් හිමියන්, සංචාරක බලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඇතුළු කර්මාන්ත පාර්ශ්වකරුවන් ඔවුන්ගේ දැඩි කලකිරීම පෙන්නුම් කර තිබේ.

ඔවුන් එය හඳුන්වන්නේ දැනටමත් ඇදවැටී තිබෙන සංචාරක අංශය සහ පාරිභෝගිකයන් අධෛර්යමත් කිරීමට හේතුවන පියවරක් ලෙසයි.

මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය සංවිධානය විසින් කොළඹ ප්‍රමුඛ පෙළේ තරු පහේ හෝටලයක සභාපතිවරයා වෙත යොමුකළ බව කියන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ලිපියක දැක්වෙන්නේ ‘Happy Hour’ කාලය තුළ මධ්‍යසාර නිෂ්පාදන මිලදී ගැනීමේදී කිසිදු වට්ටමක් ලබා දීමෙන් වළකින ලෙස සියලුම හෝටල් වෙත නියෝගයක් නිකුත් කරන බවයි.

මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය Alan Ludowyke විසින් අත්සන් කරන ලද මැයි 28 දිනැති ලිපිය මගින් 2006 අංක 27 දරන මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරී පනතට (සංශෝධිත පරිදි) අනුකූල වන ලෙස හෝටල් හිමියන්ට මෙම නියෝගය කර ඇත.

එම ලිපිය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරිට සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරියකුට ද පිටපත් කර ඇත.

‘Happy Hour’ ප්‍රවර්ධන වැනි මධ්‍යසාර නිෂ්පාදන මිලදී ගැනීමේදී වට්ටම් ලබාදෙන මත්පැන් බලපත්‍ර සහිත හෝටල් සම්බන්ධයෙන් මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව එම ලිපියේ සඳහන් කර තිබේ.

එම නිවේදනය උපුටා දක්වමින් “මෙය 2006 අංක 27 දරන මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරී පනතේ 37(2) වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව ජාතික අධිකාරිය මෙයින් ඔබට දන්වා සිටිමි. මධ්‍යසාර නිෂ්පාදන අලෙවියේදී වට්ටම් ලබා දීමෙන් වළකින්න.” යනුවෙන් සඳහන් කර තිබේ.

ඉහත සඳහන් වගන්තිය උල්ලංඝනය කිරීම රුපියල් 50,000ක දඩයකට යටත් වන අතර වරදක් කළ ආයතනයේ එක් එක් අධ්‍යක්ෂවරයා එම වරදට වරදකරුවන් ලෙස සළකනු ලබන බව එමගින් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරියේ නීති නිලධාරියකු සඳහන් කර ඇත්තේ මෙම හෝටල්වලින් ‘Happy Hour’ කාලය තුළ වට්ටම්වලට මධ්‍යසාර අලෙවි කිරීම සම්බන්ධයෙන් යම් යම් පැමිණිලි ලැබී ඇති බවත් එය නීති විරෝධී බවත්ය.

ඔහු, මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරී පනතේ 37(2) වගන්තිය උපුටා දක්වමින්, “පුද්ගලයකු විසින් දුම්කොළ නිෂ්පාදනයක් හෝ මධ්‍යසාරයක් මිලදී ගන්නකුට කිසිදු ත්‍යාගයක්, මුදල් වට්ටමක්, වට්ටමක් හෝ තරඟයකට, ලොතරැයියකට හෝ ක්‍රීඩාවකට සහභාගී වීමේ අයිතිය ලබා නොදිය යුතුය.” යනුවෙන් පෙන්වා දී තිබේ.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන කොළඹ ප්‍රමුඛ පෙළේ තරු හෝටල් ඇතුළු ක්ෂේත්‍රයේ නියැළෙන්නන් පවසන්නේ වසර තුනකට පසු සංචාරක ක්ෂේත්‍රය සිය ග්‍රහණයට නතුවෙමින් පවතින දුෂ්කර කාල පරිච්ඡේදයකදී මෙම නීතිය තම ව්‍යාපාර මෙන්ම ගනුදෙනුකරුවන්ද අධෛර්යමත් කරන බවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ මෙය සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කිරීමේ ‘විකාර සහ අඥාන’ ක්‍රියාවක් වන බැවින් සඳුදා වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට සහ විෂය භාර අමාත්‍යාංශයට මේ පිළිබඳ වාර්තා කරන බවයි.

මෙවැනි අවස්ථාවක එය ‘අඥාන’ ක්‍රියාවක් විය හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි ද ප්‍රකාශ කර තිබේ.