March 5, 2025

ජනමාධ්‍යවේදිනියකගේ ස්වාමිපුරුෂයකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හල්පන්දෙණිය නියෝග කර තිබේ.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට මාර්තු 18 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි අගොස්තිනුගේ සමරජීව නමැති අයෙකි.

ජනවාරි 01 වැනිදා රැකියාවට පිටත්ව ගිය තම ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ ඒ පිළිබඳ සොයාබැලීමේදී, ජනවාරි 2 වැනිදා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී තැලීම් සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි එම පුද්ගලයාව හමුවී තිබේ.

බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරු ජනවාරි 3 වැනිදා අලුයම ජීවිතක්ෂයට පත්විය.

මේ අතර, සිද්ධිය වූ දින දෙහිවල හිල් වීදියේ තම බිරිඳට අයත් නිවසක වත්තක වැතිර සිටි පුද්ගලයකු හමුවූ බව නීතීඥවරියකගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියකු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දන්වා තිබිණි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් නීතිඥ ගීත්මා ප්‍රනාන්දු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, රාත්‍රී 11 ට පමණ එම ස්ථානයට පැමිණි දෙහිවල පොලිසියේ නිලධාරීන් තුවාලකරු වහාම රෝහල්ගත කිරීමට පියවර නොගෙන ඔහුව සෝදවා ඇඳුම් මාරුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බවද නීතීඥවරිය පැවසුවාය.

කෙසේවෙතත් සිද්ධියට අදාළව නිවෙස් හිමියාගෙන් සහ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව දෙහිවල පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් බවට මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් හඳුනාගෙන ඇති නිසා, දෙහිවල පොලිසියෙන් සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බැවින්, මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම රහස් පොලිසියට පවරා ඇත.

නඩුව මාර්තු 18 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.