42.31%
17.27%
32.76%
October 16, 2023

සීමාසහිත චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට අනුබද්ධිත සමාගමක් වන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම, හම්බන්තොට ආයෝජන කලාපය පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කර ඇති බව ආයෝජන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.

එම චීන සමාගම යටතේ පවතින හම්බන්තොට වරායට යාබද කර්මාන්ත කලාපයක ඉඩම් අක්කර 15,000ක් ලබාදීමට ශ්‍රී ලංකා රජය මීට පෙර පොරොන්දු වී තිබිණි.

මෙරට පශ්චාත් යුද ආර්ථික පුනර්ජීවන සැලසුම්වල කොටසක් ලෙස චීනය දැනටමත් ඩොලර් බිලියන 1.5ක වරායක් සහ ගුවන් තොටුපළක් හම්බන්තොට ඉදිකර තිබේ.

මුල් සැලැස්මට අනුව, චීනය පළමු වසර පහ තුළ ඩොලර් බිලියන 05ක් ආයෝජනය කර රැකියා 100,000ක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වී තිබිණි.

කෙසේවෙතත්, චීනයට ආයෝජන කලාපය ලබාදීමට එරෙහිව දේශපාලනිකව පෙළඹවූ විරෝධතා, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ආයෝජන කලාපය සහ ඒ ආශ්‍රිත ආයෝජන මන්දගාමී විය.

උද්ඝෝෂණවලින් පසුව වරායට යාබද හම්බන්තොටින් අක්කර 15,000ක් වෙනුවට අක්කර 10,000ක් සහ ඊට යාබද මොනරාගල දිස්ත්‍රික්කයෙන් අක්කර 5,000ක් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පසුගිය රජය එකඟ වී තිබිණි.

රාජ්‍ය ඇමැති අමුණුගම සිකුරාදා (13) පැවති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ කොවිඩ් සහ ආර්ථික අවපාතයත් සමඟ චයිනා හාබර් ඉංජිනියරින් සමාගමද සිය කටයුතු අත්හිටුවා සිටි බවය.

“දැන් නැවතත් ඔවුන් පැමිණ යළි කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය ආරම්භ කළ හැකිද යන්න පිළිබඳව ඔවුන් අප සමඟ කතාකළා. ඉතින් මම චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ දෙන්නෙක් එක්ක කමිටුවක් පත්කළා. ආයෝජන මණ්ඩලය පැත්තෙන් පත්කර සිටින්නේ මගේ අධ්‍යක්ෂ ජනරාල් සහ අමාත්‍යංශයේ අතිරේක ලේකම්.ඒ අපට කොපමණ ඉඩම් ප්‍රමාණයක් තිබේද සහ එම ඉඩම් තිබෙන්නේ කොතැනද යන්න නැවත තක්සේරු කිරීමට සහ චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට කොපමණ ඉඩමක් අවශ්‍යද සහ ඒ අවශ්‍ය කොතැනින්ද යන්න තීරණය කිරීමට ” යැයි රාජ්‍ය ඇමැති අමුණුගම එහිදී ප්‍රකාශ කළේය.

නිවාස සහ පාසල් වැනි සමාජ යටිතල පහසුකම් ඇතුළත් කලාපයේ පළමු අදියර දෙක සඳහා සැලසුම් සකස් කිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් සිංගප්පූරුව පදනම් කරගත් Surbana Jurong සමාගම පත්කර තිබිණි.

මෙම ආයෝජන කලාපය පිහිටා ඇත්තේ සීමාසහිත චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගමට ඩොලර් බිලියන 1.12ක මුදලකට අවුරුදු 99ක බද්දක් වෙනුවෙන් සියයට 85ක කොටස් ප්‍රදානය කරන ලද වරායට යාබද කලාපයේය.

“සාකච්ඡා සාර්ථක නම්, නව කලාපය කොතැනද යන්න අපට තීරණය කළ හැකිය,” ඇමැති අමුණුගම පැවසීය.

42.31%
17.27%
32.76%