December 10, 2023

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද ප්‍රදේශයේ අද විශාල නායයෑමක් සිදුවූ බවත්, එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූහත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා පැවසුවාය.

නායයෑමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් පවුල් විසිපහක් කඩිනමින් ඉවත් කරගත් බවත්, උදෑසන එම නිවාසවල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබුණු බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා කීවාය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.

මෙම නායයෑමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

පැවති අධික වර්ෂාව සමග නායයෑම සිදු වී තිබේ.

මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන්බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.(ලංකාදීප)

42.31%
17.27%
32.76%