October 29, 2024

වට්ස්ඇප් ඔස්සේ කෙරෙන තවත් වංචාවක් පිළිබඳව පැමිණිලි වාර්තා වෙමින් අතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මේ සම්බන්ධයෙන් අද(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පෙන්වාදෙන ආකාරයට මෙම වංචාව සිදුවෙන්නේ මුදල් ඉල්ලා එන වට්ස් ඇප් පණිවිඩයක් ඔස්සේය.

මේ පණිවිඩය පැමිණෙන්නේ, හදුනන අයෙකුගේ වට්ස් ඇප් ගිණුමක් වෙතිනි.

මුදල් හදිසියක් ලෙස පෙන්වා කිසියම් මුදල් ප්‍රමාණයක් ගිණුම් අංකයකට එවන ලෙස ඉල්ලා මෙම පණිවිඩය යොමු වේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ අද(28) දිනය වනවිට ඔවුන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි 4ක් ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මෙම වංචාව සිදුවන ආකාරය මෙසේ පැහැදිලි කරයි.

” WhatsApp කෙටි පණිවිඩ සේවාව පාවිච්චි කරනව නම් ඔබට පණිවිඩයක් දැන් එන්න පුළුවන් ඔබගේම contact list එකේ සිටින පුද්ගලයෙකුගෙන් යම්කිසි මුදලක් ඉල්ලලා. ඉතින් මෙහි දී ගොඩක් වෙලාවට මේ මුදල ඉල්ලා සිටින්නේ තමන් දන්න කෙනෙකුගේ නිසා බොහෝ වෙලාවට ඔබ පෙළඹෙනවා මේ මුදල් ලබාදීමට.

මෙහි දී ඔබ මතක තබාගත යුතු කාරණය වන්නේ බොහෝ වෙලාවට මේ WhatsApp ගිණුම ඔස්සේ ලැබෙන මේ පණිවිඩය අදාළ පුද්ගලයාගේ ගිණුම hack වීමට ලක්වීම නිසා සිදුවන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහි දී බොහෝ වෙලාවට ඔබ විද්‍යුත් වෙනත් ක්‍රමයක් ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගැනීමකින් තොරව එවැනි මුදල් ලබා නොදෙන්න ලෙස අපි බොහෝ වෙලාවට මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙහි දී WhatsApp hack වීමක් දක්නට ලැබෙනවා. බොහෝ පිරිස්ගේ තමන්ගේ නොදැනුවත්කම නිසා මේ OTP එක WhatsApp register වීමේ දී ලබාදෙන OTP එක සමහර වෙලාවට වෙනත් බාහිර පාර්ශවයකට ලබාදීම හේතුවෙන් තමයි මේ whatsapp hack වීම සිදුවෙන්නේ, මූලික අවස්ථාවේ දී.  ඉතිං එම hack වීමෙන් පස්සේ බොහෝ වෙලාවට එම සයිබර් අපරාධකරුවන් විසින් ඒ WhatsApp ගිණුම් සම්බන්ධව තියෙන contact ලැයිස්තුවේ සිටින පුද්ගලයන් වෙත පණිවිඩ යවා ඔවුන්ගෙන් මුදල් ලබාගැනීමේ සිදුවීම් තමයි වාර්තා වෙන්නේ”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහ්මාන්ගේ WhatsApp ගිණුම යොදාගෙන ඊයේ (28)පෙරවරුවේ මුදල් ඉල්ලා මෙලෙස පණිවිඩ කිහිපයක් යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ය.

එහිදී අදහස් දක්වමින් මුජුබර් රහ්මාන් මෙසේ සිය අත්දැකීම විස්තර කළේය.

“මගේ අංකය මාර්ගයෙන් මගේ වට්සැප්වල ඉන්න සියලුම මගේ හිතවතුන්ට ඔහු යවලා තිබෙනවා මා යවන විදියට මුදල් ඉල්ලලා. ඒ වගේම ගිණුම් අංක දෙකක් ලබා දීලා තිබෙනවා. මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් තමයි මම මේක දැනගත්තේ. ඉතින් මම මේ සම්බන්ධව ආවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා වහාම මේ සම්බන්ධ විභාග කරලා, ඉතා ඉක්මනින්ම කඩිනමින් පියවර ගන්න කියලා. මොකද? මේක ඉතාම බරපතළ තත්ත්වයක්.”

42.31%
17.27%
32.76%