December 27, 2024

යාපනයෙන් පැමිණ දිවයින පුරා විවිධ ප්‍රදේශවලට ගොස් නිවාස හා රන් භාණඩ වෙළෙඳසල් විසි හතකට අධික ප්‍රමාණයක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල් රන් භාණ්ඩ ජංගම දුරකථන ඇතුළු දේපළ සොරා ගත් ළාබාල වයසින් යුත් කණ්ඩායමක් ගම්පොල ගලහා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සිදුකළ යාපනය ප්‍රදේශයේ සොරකම් තුනක්ද, වව්නියා ඉච්චකුලම් සොරකම් හතරක්ද, යාපනය කයිට්ස්හි සොරකම් තුනක්ද, වවුනියා මාමණ්ඩු සොරකම් තුනක් ද, ගම්පොළ ගලහා ප්‍රදේශයේ සොරකම් හතක්ද, නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ සොරකම් හතක්ද දැනට අනාවරණය කරගෙන ඇත.

මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල රන් භාණ්ඩ වෙළඳසැල්, නිවාස හා කෝවිල්වල මුදල් රන් භාණ්ඩ හා ජංගම දුරකථන සොරාගැනීම බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව ගලහා ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළෙඳසල් තුනක් කෝවිලක් හා නිවාස 5 ක් ඇතුළු ඖෂධ වෙළෙඳ සලක් බිඳ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ඇති අතර ඖෂධ හලෙන් මුදල් රුපියල් ලක්ෂ දොළහක් සොරාගෙන ඇත.

මොවුන්ට යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු නවයක් ඇති බව ගලහා පොලිසිය පවසයි.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මොවුන් වසර හතරක් පුරා මෙසේ සොරකම් වල යෙදී ඇති අතර අධිකරණ වලින් නිකුත් වූ වරෙන්තු සමඟම ඔවුන් වරින් වර මාතලේ, කඳපොළ, ගලහා ආදි ප්‍රදේශවලට ගොස් කුලියට නිවෙස් ගෙන එහි සිට මෙම සොරකම් සිදු කොට ඇත.

එක් අයෙකු ගලහා ප්‍රදේශයේ වෙළෙඳසැලක වැඩට පැමිණ, ඒ මුවාවෙන් ඔත්තු බලා සියල්ලෝම පැමිණ මෙම ප්‍රදේශයේ සොරකම් සිදුකොට තිබේ.

යාපනය ප්‍රදේශයේ තාලි සමග රන් මාල හා මුදල් කොල්ලකා ඇත්තේ එම නිවාසවලට ගොස් පිහි හා කියත් වැනි ආයුධ රැගෙන නිවසියන් බිය කරමින් බවද අනාවරණය වී ඇත.

අවුරුදු දහනමය, විසි එක, විසදෙක, විසිතුන හා විසිහය වැනි වයස්වල පසු වන මොවුන් මෙම සොරකම් වලින් උපයා ගත් සියලු දේ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා වැය කර ඇති බවද හෙළි වී තිබේ.

මොවුන් විසින් දිවයින පුරා සොරකම් කරන ලද රන් භාණ්ඩ යාපනය ප්‍රදේශයේ උගස් හා අලෙවි කර තිබියදී කොටසක් සොයා ගෙන ඇත.

සොරාගන්නා ලද ජංගම දුරකථනයකට මෙහි සිටින ළාබාල වයස්කරු ඔහුගේ දුරකථන සිම්පත් දැමීම සමග තාක්ෂණය ඔස්සේ ගොස් පොලිසිය මොවුන් කොටු කරගෙන තිබේ.

සියලු සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%