October 16, 2024

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිර්මට පෙර පිටවීම නිසා එකී ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවැත විභාගය පැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා එම විභාගයට පෙනීසිටි සිසු සිසුවියන් 27 දෙනකු හා ඔවුන්ගේ මවුපිය භාරකරුවෝ 27 දෙනකු ඊයේ (15දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළහ.

එකී ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබූ ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බවට බලධාර්න් ප්‍රකාශ කළත් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පිටව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවත් පිටවූයේ යැයි බලධාරීන් පවසන ප්‍රශ්න තුනට සියලුම සිසු සිසුවියන්ට සමාන්තර ලකුණු ලබාදීමට හා නැවැත එම විභාගය පවත්වන ලෙසට තමන් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම යුක්තිසහගත නොවන බවත් පෙත්සම්කරුවන් සමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා නියෝජ්‍ය විභාග කොමසාරිස්වරුන් තිදෙනකු, අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා එහි අධ්‍යක්ෂවරයා, වැඩ බලන පොලිස්පතිවරයා හා කැබිනට් අමාත්‍ය විජිත හේරත් මෙන්ම එම ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හා ගුරුවරයා මෙන්ම නීතිපතිවරයා ඇතුළු 15 දෙනකු නම් කර ඇත.

එකී පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී ප්‍රශ්න පත්‍ර අධිකරණයට කැඳවා පෙත්සම් විභාගය පවත්වන ලෙසත් තමන් ඇතුළු පෙත්සම්කරුවන්ට රුපියල් මිලියන 10ක වන්දි හා නඩු ගාස්තු ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කරන ලෙසත් පෙත්සම්කරුවන් එමඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

42.31%
17.27%
32.76%