January 31, 2025

වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන බව කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ‘ඒකීය’ බව කියැවෙන ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා 29දා යාපනයේදී පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ දෙමළ දේශපාලනඥයන් කීපදෙනකු සමග යාපනයේදී පැවති සාකච්ඡාවකින් පසු ජනමාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, ඒකීයභාවයට පමණක් තැනක් දෙන නව ව්‍යවස්ථාවක් සම්මත වුව හොත් දෙමළ දේශපාලනඥයකු වශයෙන් දෙමළ ජාතිකවාදය හෝ දෙමළ අයිතිවාසිකම් ගැන තමන් තවදුරටත් පෙනීසිටීමෙන් කිසිදු පලක් නොමැති බවයි.

මේ නිසා මේ රට තුළ එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වුවහොත් තවදුරටත් දේශපාලනයේ නිරත වීමෙන් පලක් නැති නිසා තමන් දේශපාලන කටයුතුවලින් ඉවත් වන බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද හෙතෙම කියාසිටියේය.

තමන් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ මන්ත්‍රීවරුන් 19 දෙනකු සිටින බව පැවසූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා, ඒ අතරින් මන්ත්‍රීවරුන් දසදෙනකුම දෙමළ ජාතිකත්වය වෙනුවෙන් පෙනීසිටින නිසා ඔවුන් ද මේ තීරණයම ගන්නා බව පෙනෙන්නට ඇතැයි සඳහන් කළේය.

මේ අවස්ථාවේ කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් රට බෙදීමක් ඉල්ලා නොසිටින බව කී මන්ත්‍රීවරයා, බලය බෙදා හැරීම තුළින් දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ළඟාකොට දිය හැකි බවද කියා සිටියේය.

ඊට අවශ්‍ය වන්නේ ඒකීය ක්‍රමයක් පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව බහු ජාතිකත්වයට මුල්තැන දෙන ව්‍යවස්ථාවක් බවද හෙතෙම අවධාරණය කළේය.

42.31%
17.27%
32.76%