September 14, 2024

රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන හොරිවිල වෙදගෙදර වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීම සඳහා උතුරු මැද පළාත් සභාව රුපියල් පනස් එක් ලක්ෂ අනුතුන්දහස් හත්සිය පනස් හයක (රු.5,193,756) මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය මෙම වසරේ නිකුත් කරන ලද විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත.

මුදල් කොමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාවට පටහැනිව ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සඳහන්ය.

හොරිවිල වෙද මැඳුරේ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම ඉදිකිරීම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදී පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්ගෙන් දුරකථනයෙන් සිදුකර ඇති විමසුමේදී ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ, මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් තමාට මතක නැති බවයි.

(ලංකාදීප)