April 25, 2025

2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනතට රජය ද එකඟ නොවන නමුත්, එය අහෝසි කිරීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සද්භාවයෙන් ගෙන ආ එකක් නොවන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත 2023 අගභාගයේදී එවක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ, ඔවුන් කළින් කළට ජනප්‍රිය වීමට නොයෙකුත් දෑ සිදුකරන බවයි.

රවී කරුණානායක ඇතුළු පිරිස දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළද, ඔවුන් පසුගිය කාලයේ කිසිම ප්‍රගතිශීලී දෙයක් සිදුනොකළ බව ද ඔහු පවසයි.

රජය ද අන්තර්ජාල ආරක්ෂණ පනත සමඟ එකඟ නොවන බවත් එහි අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ඔහු පවසයි.

එමෙන්ම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය හැක්කේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී සම්මත කරන ලද මාරගගත ආරක්ෂාව, අන්තර්ජාල අපයෝජනය, සයිබර් හිරිහැර කිරීම් සහ හානිකර ඩිජිටල් අන්තර්ගතයන් විසඳීමේ අරමුණින් නීති හඳුන්වා දී තිබේ.

එම නීති රැසකින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වන බවට පාර්ශව රැසකින් චෝදනා එල්ලවිය.

එවක විපක්ෂය නියෝජනය කළ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් මෙම පනතට විරුද්ධ වූ අතර, රජය විවේචනය කරන සමාජ මාධ්‍ය අන්තර්ගතයන් පාලනය කිරීමට සහ එය අනිසි ලෙස භාවිත කළ හැකි බවට ද චෝදනා කර තිබිණි.