April 30, 2025

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර බස් ඩිපෝව ජාතික මට්ටමේ ආදර්ශ ඩිපෝවක් බවට පත්කිරීමට සැලසුම් කර තිබේ.

රට පුරා තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් සිදුකෙරෙන ව්‍යාපෘතියක් යටතේ එම කටයුතු සිදුකිරීමට නියමිතය.

ඊට සමගාමීව පානදුර ඩිපෝවේ වත්මන් මෙහෙයුම් සහ ඉදිරි සැලසුම් සමාලෝචනය කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ව්‍යාපෘති සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කරන නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදි පැවසුවේ, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මෙම ඩිපෝ වැඩිදියුණු කර මූල්‍යමය වශයෙන් ස්වයංපෝෂිත හා ලාභදායී ආයතන බවට පත්කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය රජයට බරක් ලෙස ඇතැමුන් සළකන නමුත් එය රටේ ආර්ථික සංවර්ධනයට තීරණාත්මක පදනමක් ලෙස පවතින බවත්, පසුගිය පාලන සමයේ දුම්රිය, බස්රථ වැනි ප්‍රධාන රාජ්‍ය සේවාවන් නොසළකා හැරීම ඔවුන්ගේ පරිහානියට හේතු වූ බවත් එම සේවා සඳහා මේ වනවිට කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඔහු එහිදී පෙන්වාදුන්නේය.

ඒ අනුව, ප්‍රයෝජනයට නොගත් බස්රථ නැවත ධාවනයට හඳුන්වාදීම, මාර්ගය සහ කාලසටහන් නිවැරදිව ක්‍රියාත්මක කිරීම, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, සේවක සුභසාධනය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සේවක ඵලදායිතාව සහ සේවා කාර්යක්ෂමතාව උපරිම කිරීම, අතිරේක ආර්ථික කටයුතු සඳහා අතිරික්ත ඉඩම් භාවිත කිරීම සහ අමතර කොටස් සහ ටයර් වියදම් පිළිබඳ දත්ත මත පදනම් වූ පිරිවැය කළමනාකරණය මෙහිදී අවධානය යොමුකළ ක්ෂේත්‍ර කිහිපයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.